ටෝකියෝ සිමෙන්ති සමාගම අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) හා එක්ව දියත් කරන ලද ‘දිවි ශක්ති’ කළමනාකරණ පුහුණු වැඩසටහන හරහා, අපගේ වෙළඳ නියෝජිත ජාලයේ තෝරාගත් සාමාජිකයින්ට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දී, ඔවුන්ගේ ව්‍යාපාරික දියුණුවට මඟ හෙළි කිරීමට කටයුතු කරනු ලබයි.


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශේෂිත වූ ගැට‍ලු හඳුනා ගනිමින් ඒවා සැලසුම් සහගතව ජයගෙන ව්‍යාපාරික දියුණුව කරා යාමට අවශ්‍ය ව්‍යවසායික දැනුම ලබා දෙන ‘දිවි ශක්ති’ කළමනාකරණ පුහුණු වැඩසටහන, තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක ටෝකියෝ සිමෙන්ති බෙදා හරින්නන් සහ අලෙවි නියෝජිත ව්‍යාපාර හිමිකරුවන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු, කෙටි කාලීන ලාභාපේක්ෂාවෙන් ඔබ්බට ගොස්, රටේ ආර්ථිකය සහ වෙළඳපොළ තත්වය පිළිබඳ මනා අවබෝධයක් ද ඇතිව, දිගු කාලීන සාර්ථකත්වය උදෙසා මෙහෙයවන ආකාරය ප්‍රායෝගික මෙන්ම, අප රටට උචිත අයුරින් අවබෝධ කර දීම වැඩසටහනේ මූලික පදනමයි. තවද, ඔවුන්ගේ අන්‍යෝන්‍ය අත්දැකීම් ඇසුරින් පොදු ගැට‍ලු නිරාකරණයට සහ ස්වශක්තියෙන් තම ව්‍යාපාර දැනට වඩා ඉහළ තලයකට වර්ධනය කිරීමට අවශ්‍ය නිපුණත්වය ඇති කර ගැනීමට මග පෙන්වීම ද මෙහි දී සිදු වේ. IFC විෂය මාලාවට අනුගත ඉගැන්වීම් ක්‍රමෝපායන්ට අනුව, මූල්‍ය හා මූල්‍ය නොවන දෙයංශයෙන්ම සාර්ථක ව්‍යවසායකයෙකු වන ආකාරය, පාරිභෝගික සබඳතා යහපත්ව පවත්වා ගන්නා ආකාරය, තරඟකාරී වෙළඳපොළ සාර්ථකව ජය ගැනීමට පාදක වන ව්‍යාපාරික දැනුම ඇතුළුව, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, සන්නිවේදනය, මූල්‍ය සහ ප්‍රාග්ධන කළමනාකරණය, මෙහෙයුම් හා පෞද්ගලික ඵලදායීතාවය වැනි විෂය කරුණු ආවරණය වන පරිදි මූලික පුහුණුවක් මෙම ව්‍යාපාරිකයන්ට ලබා දෙන ලදී. ද මෙම වැඩමුළු මාලාව හරහා ආවරණය කෙරේ.

content image
content image

ටෝකියෝ සිමෙන්ති සමූහය ක්‍රියාත්මක කරන මෙම දිවි ශක්ති කළමනාකරණ පුහුණු වැඩසටහන, තම වෙළඳ නියෝජිත ප්‍රජාව දිරිමත් කොට ඔවුන්ට වැඩි වටිනාකමක් එක් කිරීමට දියත් කොට ඇති වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වේ. මින් ලබා දුන් පුහුණුව හරහා, 3000කට ආසන්න තම අලෙවි නියෝජිතයින් සියලු දෙනාටම සිය ව්‍යාපාර වඩාත් සාර්ථක කර ගනිමින් දක්ෂ ව්‍යවසායකයින් වීමට අවශ්‍ය අඩිතාලම සපයා දීම සමාගමේ අරමුණයි. සිය අලෙවි නියෝජිතයන් විසින් සමාගම කෙරෙහි තබා තිබෙන දශක ගණනාවක විශ්වාසය වඩාත් තහවුරු කර ඔවුන්ගේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම තුළින් මුළුමහත් ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයම ගුණාත්මක බවින් ඉහළ තලයකට නැංවීම මෙහි මූලික පරමාර්ථයයි.


යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජාර්ථික දියුණුව ඉලක්ක කරගනිමින් ඇරඹි මෙම වැඩසටහනේ මුල් අදියර, IFC සමඟ හවුල් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු අතර, පළමු වසර තුළදී මන්නාරම, මුලතිව්, වවුනියා, අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල අලෙවි නියෝජිතවරුන් 200කට අධික පිරිසක් පුහුණු කිරීමට හැකි විය. පසුව,ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් බදුල්ල, මොනරාගල, මහනුවර, කුරුණෑගල, දඹුල්ල, ගම්පහ, කොළඹ, රත්නපුර, කලුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත වැඩසටහන ව්‍යාප්ත කළ අතර, අලෙවි නියෝජිතයන් 500කට වැඩි පිරිසක් මේ හරහා පුහුණුව ලැබීය.