පරිසර සංරක්ෂණය උදෙසා වූ සමාජ සත්කාරක වැඩසටහන් යනු ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනන්‍යතාව සමඟ සමීපව බැඳුණු ලක්ෂණයකි. වර්තමානයට පමණක් සීමා නොවී, හෙට දවසේ දරුවන් වෙනුවෙන් අප උරුම කරදෙන මිහිතලය යහපත්, සුවපත් තැනක් කිරීමේ උදාරතර අරමුණ පෙරදැරිව, සමාගම විසින් මේ දක්වා දියත් කොට ඇති පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ප්‍රමාණය අතිවිශාලය.

මේ සඳහා හොඳම නිදසුනක් ලෙස, ටෝකියෝ සිමෙන්ති ජෛව බලශක්ති වැඩසටහන පෙන්වා දිය හැකිය. මෙමඟින් අපගේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම අවශ්‍ය බලශක්තිය 100%ක් ජාතික විදුලි පද්ධතියෙන් ස්වාධීනව උත්පාදනය කරගන්නට අප සමත් වී සිටින්නේ, ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති දායකයා බවට ද පත්වෙමිනි. කොරල් පර ප්‍රතිස්ථාපනය, වෙරළාශ්‍රිත කඩොලාන වනාන්තර නැවත වගා කිරීම සහ වන වගා සඳහා අවශ්‍ය පැළ තවාන් පවත්වාගෙන යාම වැනි දැවැන්ත මෙන්ම දුරදර්ශී ව්‍යාපෘති රැසකට දායකත්වය සැපයීම තුළින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව සතු අසමසම ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම උදෙසා අප දක්වන නිරන්තර කැපවීමයි.

මිහිතලයේ වෙසෙන සියලු ජීවීන්ට යහපත්, සුවපත් පරිසරයක් නිර්මාණය කර දීම උදෙසා අප ගෙන යන මෙහෙවරට එවැනිම අරමුණු ඇති විවිධ පාර්ශව වෙතින් සහය ලබා ගන්නට ද අප නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඔවුන්ගේ ප්‍රවීණත්වයේ දැනුම අපගේ ව්‍යාපෘති සඳහා ලබා දෙන්නේ අනගි සහයකි.