ක්‍රිකට් ක්‍රීඩාව යනු අප රටේ සියලු පුරවැසියන් කිසිදු භේදයකින් තොරව එකා මෙන් එකට බැඳවූ අපූරුතම රන් දම්වැලකි. ශ්‍රී ලංකික අපටම විශේෂ වූ රිද්මයක් අනුව, සියලු වෙනස්කම් ඉවත දමා ජය පරාජය එකසේ සමරමින්, එක කණ්ඩායමක්, එක කොඩියක් යටතට මුළු මහත් ජාතියම එක් කරවීමට අපගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති හැකියාව අපි නැවත නැවතත් දැක ඇත්තෙමු. අප දැන් එළඹ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත අත්විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකටයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අපට සුපුරුදු ජීව ගුණය පවත්වා ගැනීමට නම් නිරතුරුවම සහජ දක්ෂතාවෙන් පිරි නවකයන් හඳුන්වා දීමත්, ඔවුන්ට සිය කුසලතා පෙන්වීමට අවශ්‍ය වටපිටාව සැලසීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව අවිවාදයෙන් පිළිගැනේ.


ලෝක සිතියමේ ලංකාවේ නම රනින් ලියවිය හැකි අනාගත ක්‍රිකට් තරු සෙවීමේ මෙහෙයුමේ පෙරටුගාමී මෙහෙවරක් ඉටුකිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කලක සිට කැපවී සිටියි. ලංකාවේ සෑම කෙළවරකින්ම සැබෑ ක්‍රිකට් හපනුන් මතුකර ගැනීමේ අරමුණින් ගුණ ජය සතුට පදනම සමග එක්ව මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කරමින්, මේ සඳහා සමාගම සිය පූර්ණ දායකත්වය ලබා දේ.

content image
content image

දකුණේ, සීනිගම සහ හික්කඩුව යන නගර මූලික කරගනිමින් පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රීඩාගාර සහ යටිතල පහසුකම් ඉදිකරමින් 2014 වසරේ ඇරඹි මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ, පළාත්බද දක්ෂ පාසැල් ක්‍රීඩකයන්ට දිවයිනේ සිටින අති දක්ෂතම පුහුණුකරුවන් සහ ක්‍රීඩා විශේෂඥයන් යටතේ තම ක්‍රිකට් කෞශල්‍යය තව තවත් ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාකරදීමයි. මේ හරහා, සිය දක්ෂතාවය මතින් කැපීපෙනෙන ක්‍රීඩා පෞරුෂයන් ගොඩනංවා, එතුළින් සිය අනාගතය දීප්තිමත් කරගැනීමට ලංකාවේ සියලු පළාත්වල තරුණයන්ට දොරගුළු විවර කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිලාෂයයි.

මෙම වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන, ප්‍රවීන ක්‍රිකට් උපදේශක හේමන්ත දේවප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ, දකුණු පළාතේ ගම්බද පාසල් 15ක ක්‍රිකට් ක්‍රීඩකයන් 600කට අධික පිරිසක් සඳහා මාසික පුහුණු කඳවුරු පවත්වනු ලැබේ. ඉන් තෝරාගත් විශේෂ දක්ෂතා දැක්වූ කාන්තා හා පිරිමි පාසැල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් නිත්‍ය සංචිතයට බඳවාගෙන සිටියි. දක්ෂිණ ක්‍රිකට් පුහුණු ආයතනයෙන් බිහිවූ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්, වර්තමානයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ වාර්තා රාශියක් තබමින් අප රටේ නාමය බබළවන්නට සමත්ව සිටිති.

දකුණු පළාත් ක්‍රිකට් පුහුණු කඳවුරේ ප්‍රගතිය ආදර්ශයට ගත් මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවර වූයේ 2017 අගෝස්තු පටන් උතුරු පළාතේ මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු ආරම්භ කිරීමයි. යාපනයෙන් ඇරඹි පුහුණු වැඩමුළු මේ වනවිට උතුරේ කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, සහ වවුනියාව වැනි ප්‍රධාන නගර සහ මන්නාරමේ පවත්වා ඇත. ඉදිරියේදී නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ කරා ද මෙම ක්‍රිකට් පුහුණු කඳවුරු ව්‍යාප්ත කර, එම පළාත්වල දක්ෂ දරුවන්ට ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාවේ නම බැබළවීමට අවස්ථාව ලබාදීම මෙහි ඉලක්කයයි.


ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නිරතුරුව සිය සහයෝගය ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත් වන්නේ, භාෂාව, සංස්කෘතිය ආදී සියලු වෙන්කිරීම් අභිබවා සියලු ශ්‍රී ලාංකිකයන් දැඩි සහෝදර බැම්මකින් එකතු කරවීමට ඊට ඇති හැකියාව හොඳින් හඳුනාගෙන සිටින නිසාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාවේ එම ජීව ගුණය, ශක්තිමත් අඩිතාලමක් කරගනිමින් අනාගත පරපුර අතර නොසැලෙන බැඳීමක් ඇතිකිරීම අප රටේ අනාගතය ගොඩනැංවීමේ හෘදයාංගම කාර්යයට උරදී සිටින ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි.

content image