අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවත්නා විශාලතම අඩුපාඩුවක් නම් පුහුණු ශ්‍රමිකයන්ගේ පවතින හිඟයයි. කලක පටන් පැවති මෙම අඩුපාඩුව හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගම, 2001 වසරේදී පෙදරේරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී පවත්වන ලද අතර, එහිදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (National Apprentices & Industrial Training Authority- NAITA) වෙතින් පිරිනමන කුසලතා සහතිකයක් ද පුහුණුලාභීන් වෙත පිරිනමන ලදී.

මෙම ගමනේ ඉදිරි පියවරක් තබමින්, 2012 වසරේදී සියලු පහසුකම්වලින් සමන්විතව ඒ.වයි.එස්. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය දඹුල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද්දේ, පෙදරේරුවරුන් සඳහා NVQ සහතික පත්‍ර පාඨමාලා පුහුණුව නොමිලේ ලබාදීම සඳහාය. මෙම සුදුසුකම ලබාගැනීමෙන් පෙදරේරු ශිල්පීන්ට වඩාත් ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය අවස්ථාවන් උදා කරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිප්‍රාය වන අතර, මේ දක්වා දහසකට අධික වෘත්තීය පුහුණුලාභීන් පිරිසක් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට දායාද කරන්නට ද හැකි වී ඇත.

සහතික පත්‍ර පාඨමාලා පැවැත්වීමට අමතරව, සමාගම විසින් දිවයින පුරා සිටින පෙදරේරුවරුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා දේශන සහ වැඩමුළු පැවැත්වීම ද සිදු කරනු ලබයි. මෙම වැඩමුළු මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග දැනුම හුවමාරු කරගන්නටත්, නවතම, වඩාත් කාර්යක්‍ෂම ඉදිකිරීම් ක්‍රමවේදයන් පිළිබඳ ඉගෙන ගැනීමටත්, තම වෘත්තීය නිපුණත්වය ඉහළ නංවන නව නිෂ්පාදන භාවිතාවන් පිළිබඳ දැනුවත් වීමටත් පෙදරේරු ශිල්පීන්ට අවස්ථාව හිමි වේ.

content image
content image

පෙදරේරුවරුන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ වෘත්තීය ප්‍රවීණත්වය ඉහළ නංවාලීමට අමතරව, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සුවිශේෂීම කාර්යභාරයක් ඉටුකරන ඉංජිනේරුවරුන්, තාක්ෂණ නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් සඳහා ද දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් සමාගම විසින් සංවිධාන කරනු ලබයි. මෙම වැඩමුළු සියල්ලක්ම නොමිලේ පවත්වනු ලබන අතර, සිමෙන්ති හා කොන්ක්‍රීට් භාවිතයේ නව්‍ය තාක්‍ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීමත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නංවන ශිල්පීයක්‍රම හඳුන්වා දීමත් මෙහිදී සිදු කෙරේ.