මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණදී ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ පුහුණු ශ්‍රමිකයන්ගේ උග්‍ර හිඟයයි.  විධිමත් පුහුණුවක් නොලද කාර්මිකයන්, ක්ෂේත්‍රයේ කීර්තිනාමයට හානියක් මෙන්ම එහි ප්‍රගමනයට ද බාධාවකි.  විශේෂයෙන්ම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට මෙම තත්ත්වය දැඩිව බලපා ඇති අතර, ගෘහස්ථ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මින් ඇති බලපෑම බව අතිවිශාල වේ.

විධිමත් පුහුණුවක් ලද පෙදරේරුවරුන්ගේ ප්‍රතිශතය ඉතා කුඩා අගයක් ගන්නා අතර, වැඩි දෙනෙකු තම වැඩිහිටි පෙදරේරු ශිල්පීන් යටතේ අවිධිමත් පුහුණුවක් ලැබූ අයයි.  රජය පිළිගත් වෘත්තීය කුසලතාවන්ගෙන් හෙබි පෙදරේරු ශිල්පීන් සංඛ්‍යාව ද ඉතාමත් සීමිත වීම ඉහත ගැටලුව උග්‍ර වීමට තුඩු දී ඇත.  මේ නිසාම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් වන ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (Chamber of Construction Industry of Sri Lanka – CCISL) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders – CIOB) මෙම ගැටලුවට පිළියමක් ලෙස, ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව ලැබූ ශ්‍රමිකයන්ගේ පැහැදිලි අවශ්‍යතාවක් ඇති බව හ‍ඳුනාගෙන ඇත.

පිළිගත් පුහුණුවක් නොලද සාමාන්‍ය පෙදරේරුවරයෙකුට වඩා, විධිමත් පුහුණුවක් ලැබූ වෘත්තීය මට්ටමේ පෙදරේරුවරයෙකුට ඉහළ ආදායමක් ලැබීමේ අවස්ථාව ද නිතැතින්ම හිමිවේ.  මේ හේතුවෙන් වෘත්තීය පිළිගැනීමක් ඇති, සහතිකපත්‍රයක් හිමි පෙදරේරු වෘත්තීයෙකුට දකුණු කොරියාව, මැදපෙරදිග, එක්සත් ආරාබි එමීර්, ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල ඉහළ ඉල්ලුමක් ද පවතී.

content image
content image

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දඹුල්ල ප්‍රදේශයේ අති නවීන පහසුකම් සහිතව ඉදිකිරීම් පුහුණු විද්‍යායතනයක් ස්ථාපිත කරන්නට යෙදුනේ ඉහත අවශ්‍යතාව ඉටු කිරීමේ අරමුණෙනි. රටේ අනාගතය තම දෑතේ සවියෙන් ගොඩ නංවන ඉදිකිරීම් කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ දූරදර්ශී අරමුණ පෙරදැරිව, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති, අභාවප්‍රාප්ත දේශමාන්‍ය ගරු A.Y.S. ඥානම් මහතාගේ නමින් ස්ථාපිත කරන ලද මෙම ඉදිකිරීම් විද්‍යායතනය 2012 වසරේදී විවෘත කරන ලදී.


පෙදරේරු තාක්ෂණ ශිල්පීන්ට තම දක්ෂතාවය සහ පළපුරුද්ද අනුව ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් NVQ සහතිකය දක්වා ඉහළට යාමට අඩිතාලමක් සපයන මෙම විද්‍යායතනය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා හා විද්‍යාගාර පහසුකම් වලින් සමන්විත වේ. පාඨමාලා කාලය තුල ආහාරපාන සහ නේවාසිකාගාර පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සපයාදෙමින් ගෞරවනීය සහ අත්දැකීම් පිරුණු ගුරු මඩුල්ලක් යටතේ ප්‍රයෝගික මෙන්ම තාක්ෂණික දැනුම සපිරි ඉතා ඉහළ මට්ටමේ පුහුණුවක් මෙහිදී ලබාදෙයි.


මෙහි පුහුණු වැඩසටහන් දෙයාකාරයකින් පැවැත්වේ. එනම්;


  • • පාසැල් අධ්‍යාපනය අවසන් කළ තරුණයන් ඉලක්ක කරමින් TVEC (Tertiary & Vocational Education Commission) අනුමත විෂයමාලාවක් අනුව NVQ 3 සහතිකය පිරිනමන ප්‍රවීණතා පාදක පුහුණු (Competency Based Training - CBT) වැඩසටහන. මෙය මාස 2ක ආයතනික පුහුණුවක් සහ මාස 4ක රැකියා පුහුණුවක් වශයෙන් අදියර 2කින් සම්පුර්ණ කළයුතුය.
  • • දැනටත් ක්‍ෂේත්‍රයේ නියුතු වෘත්තීකයන්ට, පූර්ව ශක්‍යතාවය හඳුනාගැනීමේ පරීක්ෂණයක් (Recognition of Prior Learning - RPL) සමත්වීමෙන් පසුව NVQ 3 සහතිකය පිරිනැමෙන පුහුණු වැඩසටහන, මින් දෙවැන්නයි.

මේ දක්වා NVQ සහතික ලාභීන් 1500කට වඩා බිහිකර ඇති ඒ.වයි.එස්. ඥානම් ඉදිකිරීම් පුහුණු ආයතනය, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට (NAITA) අනුබද්ධ පුහුණු ආයතනයකි.


ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමාගම් අතරින්, තිරසාර සමාජ දායකත්වයක් උදෙසා වන ඉදිකිරීම් අංශයේ හොඳම අධ්‍යාපන සහ පුහුණු ව්‍යාපෘතිය ලෙසට ඒ.වයි.එස්. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් 2012වසරේදී පිළිගැනීමට ලක්කෙරිණි. ඒ අනුව ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම 2012 වසරේ හොඳම සමාජ සත්කාරක වැඩසටහන උදෙසා සම්මානයෙන් ද පිදුම් ලැබීය.