ටෝකියෝ සිමෙන්ති සමූහය, රටේ සංවර්ධනයට සේම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ද නිරන්තරයෙන් ඇපකැප වූ සමාගමකි. ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් සමූහයකට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ එකී වෑයමෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නිවාස අහිමිව, අවතැන් වූ මෙම ජනතාවට ස්ථාවරත්වය පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි වඩාත් තීරණාත්මක සාධකය වන්නේ තමන්ගේම කියා නිවසක හිමිකම ඔවුන්ට ලබා දීමයි. අවතැන් වූ අසරණ පවුල් 25ක් සඳහා නිවාස ඉදිකර දීමට නිලාවේලි, අඩම්පොඩායි ප‍්‍රදේශයේ ටෝකියෝ සමාගම සතු ඉඩමක් වෙන් කෙරුණු අතර, ඔවුන්ගේ හිසට සෙවණක් සැපයීම පමණක් නොව ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණ ද ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.


ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් අනුස්මරණය කරමින්, 2017 මැයි මස 5වන දින ඉදිකිරීම් ඇරඹි මෙම නිවාස යෝජනා ක‍්‍රමයේ සමාරම්භක උත්සවයේ මුලසුන හොබවන ලද්දේ ටෝකියෝ සිමෙන්ති සමාගමේ වත්මන් සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසිනි. ටෝකියෝ සිමෙන්ති සුනාමි සහන භාරය විසින් 2009දී ඉදිකරන ලද සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයට යාබදව මෙම නව නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරුණු අතර, එම සැමරුම් උත්සවයේදී සුනාමියෙන් පීඩාවට පත් පවුල් 25කට, එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඔප්පු ප්‍රදානය කිරීමද සිදුවිය.

content image
content image

වසරකටත් අඩු කාලයකින් සාදා නිමවන ලද මෙම නව නිවාස යෝජනා ක‍්‍රමය, 2018 මාර්තු 21වන දින ගරු පාර්ලිමේන්තුවේ එවකට විපක්ෂ නායක ආර්. සම්පන්තන්, ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් ලේකම් එන්.ඒ. පුෂ්පකුමාර, ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ එහි සාමාන්‍යධිකාරී/විධායක අධ්‍යක්ෂ, ක‍්‍රිස්ටෝපර් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් සහ පළාත් පාලන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින්, දශක ගණනාවක් ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ අවතැන් පවුල් සිය ගණනක් අතරින් මෙම නිවාස ලබාදීමට සුදුසු පවුල් තෝරා දෙනු ලැබීය. ටෝකියෝ සිමෙන්ති සමාගමේ දායකත්වය මත විදුලිය, නළජලය, දියුණු මාර්ග පද්ධතියක්, ප‍්‍රජා මධ්‍යස්ථානයක් සහ ළමා උද්‍යානයක් ඇතුළු සියලූ අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ මෙම නිවාස සංකීර්ණය තුළ සෑම පවුලකටම පර්චස් 10ක බිම් කැබැල්ලක් සමග රු. මිලියන 2.3ක පිරිවැයක් දරමින් ඉදිකෙරුණු අංගසම්පුර්ණ නිවසක් හිමිකරගැනීමේ භාග්‍යය හිමිවිය.

දැඩි දුෂ්කරතා මැද දිවිගෙවූ 100කට ආසන්න සහෝදර ශ්‍රී ලාංකික පිරිසකට සිය දෙපයින් නැගී සිටීමට ශක්තිය සැපයීමෙන් ආයතනික සමාජීය වගකීමෙන් කොටසක් ඉටුකර දීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට මේ ව්‍යාපෘතිය හරහා හැකිවිය. කර්මාන්ත ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙකු සේම, අතිශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංග වලින්ද පිරිපුන් උතුම් මිනිසෙකු වූ, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් විසින් ස්ථාපිත කරන ලද සමාගම් ද ඔහු අනුව යමින් සිය යුතුකම් කොටස ඉටු කිරීමට කැපවී සිටින අයුරු මෙම ව්‍යාපෘතියෙන් ගම්‍ය වේ.

content image