අප රටට උරුම වී ඇති ස්වාභාවික සම්පත්වල වටිනාකම හොඳින්ම හඳුනාගෙන සිටින අපි, එම සම්පත් භාවිතයේදී අප වෙත පැවරෙන වගකීම පිළිබඳව ද සෑම විටකම පරීක්ෂාකාරී වන්නෙමු. එම වගකීමේ එක් වැදගත් කාර්යභාරයක් ඉටුකරමින්, අපගේ TOKYO SUPERMIX පෙර සැකසූ කොන්ක්‍රීට් (Ready Mix Concrete – RMC) නිෂ්පාදනාගාර ජාලයේ භාවිතයෙන් පසු ඉවත්කෙරෙන ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළෙමු. අපගේ නිෂ්පාදන මෙහෙයුම් කළමනාකරුවන් විසින්ම නිර්මාණය කළ මෙම අපජල ප්‍රතිචක්‍රීකරණ පද්ධති, අපගේ ත්‍රිකුණාමළය, මහනුවර, මීතොටමුල්ල සහ පෑලියගොඩ යන TOKYO SUPERMIX RMC නිෂ්පාදනාගාර හතරෙහි දැනටමත් ක්‍රියාත්මක වන අතර අනාගතයේදී දිවයින පුරාම ඇති RMC නිෂ්පාදනාගාර සියල්ලටම මෙම ක්‍රමවේදය හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.


එක් කොන්ක්‍රීට් කාණ්ඩයක් සැකසීමේදී අමුද්‍රව්‍ය තෙත් කිරීම, කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සහ ජංගම මිශ්‍රණ ටැංකි සේදීම වැනි කටයුතු සඳහා දෛනිකව ජලය ලීටර් 30,000ක් පමණ සාමාන්‍යයෙන් වැයවේ. අපගේ සාමාන්‍ය නිෂ්පාදන රටාව අනුව RMC නිෂ්පාදනාගාර 11ක්, වසර පුරා දින 200ක් පමණ ක්‍රියාත්මක කෙරෙන අතර, එම නිෂ්පාදනාගාර සියල්ල සඳහා වසරකට වැයකරනු ලබන ජල ප්‍රමාණය ලීටර් මිලියන 66ක් පමණ වේ. මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා යොදාගන්නා පිරිසිදු ජලයෙන් 20%ක පමණ ප්‍රතිශතයක් අපජලය ලෙස බැහැර කිරීමට සිදුවීම අප එතෙක් මුහුණු දුන් බරපතල ගැටලුවක් විය.

content image
content image

මෙම ගැටලුවට පිළියමක් ලෙස අප ආයතනයේම සම්පත් යොදා ගනිමින් අප විසින් දියත් කළ ‘soakage pit method’ නම් ක්‍රමවේදය නිසා, කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමට යොදා ගන්නා අපජලයෙන් 90%ක් පමණ සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපට හැකි වූ අතර, එමඟින් වාර්ෂිකව ජල ලීටර් මිලියන 12ක් ඉතිරි කරන්නට ද අපට හැකි විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය නිසා පිරිසිදු ජල භාවිතය ද විශාල වශයෙන් අවම කිරීමට අප සමත් වූයේ පරිසර හිතකාමීත්වය උදෙසා වූ අපගේ මෙහෙවර තවදුරටත් තහවුරු කරමිනි. එපමණක් ද නොව මෙහෙයුම් කටයුතු සඳහා වසරකට වැයවන රුපියල් මිලියන ගණනක මුදලක් ද මේ නිසා ඉතිරි කරගන්නට අපට හැකි විය.


තවද, අපගේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යටතේ සිදු කෙරෙන තවත් වැදගත් පියවරක්, නම් විවිධ පරීක්ෂණ සඳහා යොදාගන්නා කොන්ක්‍රීට් ආදර්ශ සහ අනෙකුත් ඝණ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය සියල්ලම පාහේ අපගේ කොරල් නැවත වගා කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය Reef Ball ව්‍යුහ සකස් කිරීම සඳහා යොදා ගැනීමයි.