The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) යනු අඩු පහසුකම්ලත් පාසල්වල ඉගෙනීම ලබන දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබාදෙමින්, එතුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සපයන ලාභය අරමුණ කරනොගත් ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම වසර තිහක යුද්ධය නිසා පීඩාවට පත් උතුරු නැගෙනහිර සහ දකුණේ අඩු පහසුකම් ලබන පළාත්වල, තෝරාගත් පාසල් කිහිපයක දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා විශ්ව භාෂාව වන සංගීතය මෙවලමක් ලෙස යොදාගනිමින් අධ්‍යාපනික කඩඉම් වලින් ඔබ්බට ගිය වඩාත් දීප්තිමත් අනාගතයකට දොරටු විවර කිරීම The Music Project හි ප්‍රධානම අරමුණයි.


විෂය නිර්දේශයට පමණක් සීමා නොවී දරුවන් තුල වඩාත් ගැඹුරු ජීවන කුසලතා වර්ධනයට මග පෙන්වීම ද අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව සියල්ලන්ටම සැලකීමේ වටිනාකම අවබෝධකරදීම ද මෙම ව්‍යාපෘතියේ තවත් කාර්යභාරයකි. එක් සාමූහික අරමුණක් වෙනුවෙන් එකාවන්ව කැපවීම, අභියෝග ජයගැනීමට එකිනෙකා දිරිගැන්වීම, නිර්මාණශීලීත්වය මෙන්ම ආත්ම විශ්වාසය මත ගොඩනැගුණු ප්‍රෞඩත්වයක් සෑම දරුවෙක් තුලම ඇති කිරීම, ද මේ හරහා අපේක්ෂිත අභිමතාර්ථ අතර වේ.

content image
content image

අම්පාර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල ගුරුවරුන් පුහුණු කිරීම මඟින් ආරම්භ කළ මෙම වැඩසටහන හරහා, සංගීත භාණ්ඩ 3000කට අධික ප‍්‍රමාණයක් සහ ඉගෙනුම් උපකරණ රැසක් ද බෙදා දී ඇත. බටනළා, වයලීන්, වියෝලා, චෙලෝ, ට‍්‍රම්පට්, ක්ලැරිනෙට්, ෆ්‍රෙන්ච් හෝන් ඇතුළු සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමට ඉගෙනීමට මේ හරහා සිසුන්ට අවස්ථාව හිමි වන අතර, මේ සඳහා පූර්ණ කාලීන උපදේශකයන් මෙන්ම, ස්වේච්ඡා උපදේශකයන්ගේ ද දායකත්වය ලබා ගැනීමද විශේෂත්වයකි. සියලූ බාධක බිඳලන විශ්ව භාෂාවක් වූ සංගීත විෂය හැදෑරීමට අපේ රටේ දුවාදරුවන්ට ලැබුණු මාහැඟි අවස්ථාවක් ලෙසද මෙම ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.

ටෝකියෝ සමාගම 2017 වසරේදී මෙම ව්‍යාපෘති සමඟින් එක් වූ අතර, එතැන් පටන් වසර දෙකක් පුරා විවිධ තේමාවන් ඔස්සේ ‘අනාගත නායකයන්ට පදනමක් තැනීම’ අරමුණු කරගනිමින් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට දායකත්වය සපයනු ලැබීය. මෙම හවුල්කාරීත්වයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස මුලතිව් පාලිනගර් මහා විද්‍යාලයේ සිසුන් 110 දෙනෙකුට සහ මාවතගම ගුණානන්ද කණිෂ්ට විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකුට ටෝකියෝ සමාගම විසින් ශිෂ්‍යත්ව ප‍්‍රධානය කරන ලදී.

The Music Project වාදක කණ්ඩායම ශ‍්‍රී ලංකාව පුරා සංචාරය කරමින් විවිධ ප‍්‍රසංග රැසක් ද පවත්වන ලද අතර මෙමඟින් සාමූහිකත්වය, ආත්ම විශ්වාසය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කරගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමි විය. සෑම වසරකම මෙම සිසුන් කුරුණෑගල සහ මුලතිව් හි පැවැත්වෙන නේවාසික පුහුණු වැඩසටහන් දෙකකට සහභාගී වීම ද මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් වන අතර ජාතික සමගිය වර්ධනය කිරීම උදෙසා සංගීතය භාෂාවක් ලෙස යොදා ගැනීම මෙහි අරමුණයි. මෙම වැඩසටහන පැවැත්වෙන වකවානුවේ උතුරේ දරුවන් සහ දකුණේ දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද එකම සමූහයක් ලෙසින් කටයුතු කරනු දැකිය හැකිය. සංගීතය තුළින් ඔවුන් සිය අත්දැකීම් බෙදාහදා ගන්නේ එකම තනුවකට අනුව ගැයෙන විවිධ නාද රටාවන් සංකලනය වන පරිද්දෙනි. මෙම සංගීත කණ්ඩායමට විශේෂ අවස්ථාවන්හිදී සංදර්ශන පැවැත්වීමට ද ආරාධනා ලැබීම නිසා ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනයට සහ ඔවුන්ගේ ජයග‍්‍රහණ පුළුල් ප්‍රේක්‍ෂකාගාරයකට ඉදිරිපත් කිරීමට ද මෙම සිසු දරුවන්ට අවස්ථාව හිමිවේ.

content image