දේශය ගොඩනැඟීමේ මෙහෙවරෙහි ප්‍රමුඛතම හවුල්කරුවෙකු වශයෙන්, ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීම අපගේ ප්‍රජා සත්කාර භුමිකාවේ දැක්මයි. අපගේ සෑම ප්‍රජා සත්කාරක වැඩසටහනකම මූලික අරමුණ වන්නේ, විවිධ සමාජ ස්තරයන්ට අයත් අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම, රටේ සියලුම ජනතාවට අසමසම වටිනාකමක් පිරිනැමීමයි. මෙම සත්කාරක වැඩසටහන් ප්‍රධාන කණ්ඩායම් දෙකක් අරභයා ක්‍රියාත්මක වේ. මින් පළමුවැන්න, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්පත්දායකයන් වන වෘත්තීය කණ්ඩායම් වන අතර, අනෙක් කොට්ඨාශය වන්නේ අවම පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රජාවයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සෑම තරාතිරමකම වෘත්තීය කණ්ඩායම් සමඟ දශක ගණනක් පුරා අප ගොඩනඟාගෙන ඇති සවිමත් සබඳතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් දැනුමින් හා තාක්ෂණයෙන් බලගැන්වීම මින් එක් වැඩපිළිවෙලකි. වෘත්තීයවේදීන් ඉලක්ක කරගත් තාක්‍ෂණික වැඩසටහන් හඳුන්වා දීමෙන් ඔවුන්ගේ නිර්මාණාත්මක නව අදහස්වලට ඉඩක් ලබා දෙන්නටත්, ඒ හරහා ඔවුන්ගේ උපරිම හැකියාවන් දේශය ගොඩනැංවීමේ මෙහෙවරට දායක කරගන්නටත් අපට හැකි වී ඇත.

ඉතා සැලකිල්ලෙන් තෝරාගත් වැඩසටහන් කිහිපයක්, අත්‍යවශ්‍ය සමාජ මෙහෙයන් වෙනුවෙන් කැපවුණු ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමෙන් විශාල ජන කණ්ඩායමක් වෙත සමීප වීමට ද අපට හැකියාව ලැබී ඇත. සම්පත් බෙදී යාමේ විෂමතාවය අඩු කරනුවස්, දුරබැහැර පළාත්වල ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන සමාජ සුභසාධන වැඩසටහන් කිහිපයක් මේ අතර වේ.

රටේ අනාගතය බාර ගැනීමට සිටිනා දුදරුවන්ට තම සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය පහසුකම්, සම්පත් හා වටපිටාව සකසා දෙමින්, හෙට රටේ නායකයන් බිහි කිරීම උදෙසා නිර්මාණය වූ ළමා හා තරුණ වැඩසටහන් රැසකට ද අප විසින් දායකත්වය ලබාදී ඇත.