දේශය ගොඩනංවන වෘත්තීමය සවිබලගැන්වුම

ලොවක් මවිත කළ ඉදිකිරීම් සංස්කෘතියක සාඩම්බර උරුමකරුවන් වන අපගේ මුතුන්මිත්තන් විදහා පෑ විශිෂ්ට ඉංජිනේරු කෞෂල්‍යයන් අදටත් අප රටට එක් කරන්නේ ප්‍රතාපවත් අභිමානයකි.  දේශීය ඥානය, නිවැරදි කුසලතා හා තාක්ෂණය සමඟ මුහු කරමින් තැනූ ඒ අසමසම නිර්මාණ බොහොමයක් ලොව එතෙක් මෙතෙක් ඉදි වූ විශිෂ්ටම නිර්මාණයන් අතළොස්ස අතරටද එක් වී තිබේ.  අප සතු වූ ඒ සුවිසල් නිර්මාණ හැකියාව වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත නැවත දායාදකිරීමට අවශ්‍ය ශක්‍යතාව අප තුළ නොඅඩුව ඇති බව අපි තරයේම විශ්වාස කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සිමෙන්ති හා කොන්ක්‍රීට් නිෂ්පාදනයේ අසමසම ප්‍රමුඛයා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වෘත්තීමය කුසලතාවයෙන් හා තාක්ෂණික නිපුණත්වයෙන් බලගන්වන්නට නිරන්තරයෙන් කැපවී සිටියි. මෙම අරමුණ සාක්ෂාත් කරගනු වස් විවිධාකාරයේ වැඩසටහන් රාශියක්, ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීමය පාර්ශවකරුවන් සමඟ එක්ව දියත් ඇත්තෙමු. ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා වෙන්වෙන්ව උත්සාහ දරනු වෙනුවට, එහි නියුතු සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සියල්ලන්ම මුතුව එකසිත්ව, එක්සත්ව සාර්ථකත්වය කරායන වඩා ශක්තිමත් ගමනක් අරඹන්නට මේ නිසා අපට හැකි වී තිබේ.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නව සම්ප්‍රදායක් ඇතිකරන අදහසින් දෙස් විදෙස් ප්‍රවීණයන්ගේ නව අදහස්, දැනුම හා අත්දැකීම් නවක වෘත්තිකයන් සමඟ බෙදාහදා ගන්නට ඉඩ හසර සැලසීම මෙහි එක් අංගයකි.  එපමණක් ද නොව, අපගේ ව්‍යාපාරික සබඳතා පදනමක් කර ගනිමින් ඉදිකිරීම් තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන් සිටින රටවල විශේෂඥ දැනුම අප රටේ ඉංජිනේරු ක්ෂේත්‍රයට බද්ධ කරවීම උදෙසා අවස්ථාවන් සකසාදීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.  උදාහරණයක් ලෙස, අපගේ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කරුවන්ගේ දායකත්වය ඇතිව ජපානය ඇතුළු ලෝකයේ නොයෙක් රටවල ප්‍රවීණ වෘත්තීයවේදීන් විසින් මෙහෙයවනු ලබන දේශන හා වැඩමුළු මෙරට තුළ සංවිධාන කරමින්, ඔවුන්ගේ විද්‍යාත්මක පර්යේෂණ තොරතුරු සහ ඉංජිනේරුමය ගැටලු නිරාකරණයේ ප්‍රායෝගික අත්දැකීම් අප රටේ වෘත්තිකයන් සමඟින් බෙදාහදා ‍ගන්නට සැලැස්වීම අපගේ මෙම මෙහෙවරෙහි තවත් වැදගත් තැනක් ගනී. මෙහි දිගුවක් ලෙස, ඉංජිනේරු වෘත්තීයවේදී සංවිධාන සමඟ සම්බන්ධ වෙමින් පුහුණු සැසි, දේශන, වැඩමුළු හා සාකච්ඡා වැඩසටහන් ඔස්සේ අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දැනුමින් සවිමත් කරන්නට අපි දායකත්වය සපයන්නෙමු.

ලොව පිළිගත් සම්මතයන්ට අනුගතවූ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතිකරණයක් ජාතික මට්ටමින් ස්ථාපිත කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ආරම්භයේදීම පෙරමුණ ගත්තේ ද මෙම ව්‍යායාමයේ තවත් එක් පියවරක් ලෙසිනි.  මෙම අරමුණ වෙනුවෙන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන වෘත්තීය සංවිධාන රැසක් ඒකාබද්ධ කර ගනිමින්, විවිධාකාර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සඳහා ජාතික ප්‍රමිතිකරණ සම්මතයන් හඳුන්වාදීමට හැකිවීම මුළුමහත් ක්ෂේත්‍රයම ලැබූ ප්‍රතිලාභයකි. මෙරට සිමෙන්ති නිපැයුම් සඳහා SLS ප්‍රමිතීන් හඳුන්වාදීම තුළින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළඳපොළට එක්වීම සැලකිය යුතු ලෙස පාලනය කරන්නට හැකිවීම පාරිභෝගිකයන් වෙනුවෙන් අප ලද විශේෂ ජයග්‍රහණයකි. මේ හරහා දේශීය නිෂ්පාදනවල ප්‍රමිතිය නිතැතින්ම ඉහළ නැංවුණු අතර, අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන විදෙස් හවුල්කාරීත්වයෙන් සිදුකරන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා වැඩි ඉල්ලුමක් ඇති ආනයනික නිෂ්පාදන සමඟ තරඟකාරී මට්ටමකට ළඟා වීමටද දේශීය නිෂ්පාදකයන්ට ඉඩහසර සැලසුනි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියමුවන් වන ඉංජිනේරු ශිල්පීන් නිර්මාණශීලීත්වයෙන් පොහොසත්, කුසලතා සහිත දැනුමින් පිරි වෘත්තිකයන් පිරිසක් බවට පත් කරන්නටත් කටයුතු කිරීම අපගේ මෙහෙවරෙහි තවත් පැතිකඩකි. නව චින්තන රටාවක් තුළින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්නට කැප වූ අපි, ඒ උදෙසා ඉංජිනේරුවන්, උපදේශකයන් හා කොන්ත්‍රාත්කරුවන් ඇතුළු වෘත්තික පිරිස් මෙන්ම ඉංජිනේරු සිසුන් සහ උපාධි අපේක්ෂකයන්ට ද අවැසි දැනුම නොඅඩුව සපයන්නට මැදිහත් වූයෙමු. ඒ යටතේ උපාධි අපේක්ෂක ඉංජිනේරු සිසුන්ගේ පර්යේෂණ වැඩමුළු සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රාහකත්වය ලබා දීම වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් සිදුකෙරේ. විවිධ වෘත්තීය සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින්, ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය උදෙසා පහසුකම් සලසන්නට අප හවුල් වූයේද මෙම අරමුණ වෙනුවෙනි.

ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තරය සමග උරෙනුර ගැටිය හැකි ගොඩනැගිලි සංස්කෘතියක් නැවත ස්ථාපිත කිරීමෙන් අප රටට නිතැතින් උරුම ප්‍රෞඩත්වය හිමි කරදෙන්නටත් හැකි වීම අප ලැබූ නිහතමානී ජයග්‍රහණයයි.

content image
content image
content image
content image
content image