කඩොලාන පරිසර පද්ධති වනාහි මිහිපිට ඇති තෙත්බිම් වර්ග අතරින් විවිධ ශාක හා සත්ව විශේෂ දහස් ගණනකට වාසස්ථාන සපයන ජෛව විවිධත්වයෙන් පොහොසත් ඉතා වැදගත් තෙත්බිම් කොට්ඨාශයකි.


මිරිදිය ජලය සමඟ අධික ලවණතාව සහිත මුහුදු ජලය මිශ්‍ර වූ සහ නිරතුරුවම වඩදිය-බාදිය ඇතිවන පරිසරයක වැඩෙන කඩොලාන, ඔක්සිජන් සාන්ද්‍රණය අවම ගොහොරු පරිසරයට අනුවර්තනය වූ ශාක විශේෂයකි. එකිනෙකට බැඳුනු අතුපතර ජාලයක් සේ වැඩෙන කඩොලාන බහුලව දක්නට ලැබෙන්නේ, ගංගා මුහුදට එක්වන මෝය අසල ඇති ඩෙල්ටා පරිසරය ආශ්‍රිතව පමණි. ඒවායේ කඳන් සහ අතු, සුළං බාධක ලෙස ක්‍රියා කරන අතර, එකට පැටළුණු මුල් ජාලය මුහුදු රැලිවල ඛාදන බලය අඩු කිරීමට දායක වේ. එමෙන්ම, ගංගා ජලයේ ගසාගෙන එන පස් සහ ලවණ අවසාදිත මුහුදට කෙලින්ම සේදී යාම ද වළක්වන්නේ කඩොලාන පද්ධතියයි. මෙසේ රොන්මඩ තැන්පත්වීමේ පාරිසරික සංසිද්ධිය කාලාන්තරයක් පුරා සිදුවීමෙන් නව ගොඩබිම් ඇති වන අතර, ඒ නිසාම කඩොලාන පද්ධතීන් ‘ගොඩබිම් තනන්නන්’ ලෙසින් ද හැඳින්වේ.

content image
content image

සිය ගණන් මත්ස්‍ය විශේෂ, අපෘෂ්ඨ වංශීන්, සංක්‍රමණික හා ඒකදේශික පක්ෂීන්ට මෙන්ම විවිධ උරගයින්, උභයජීවීන් සහ ක්ෂීරපායින් දහස් ගණනකට වාසස්ථාන ද සපයන කඩොලාන වනාන්තර, මිනිසා ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට බලපාන ආහාර දාම රැසක ආරම්භක පරිසරයයි. මෙම අතිවිශේෂ තෙත්බිම් මත යැපෙන දහස් ගණනක් ජීවීන් අතර, ධීවර හා සංචාරක ඇතුළු වාණිජ කටයුතු සඳහා එම පරිසරය භාවිතා කරන වෙරළබඩ මිනිස් ප්‍රජාව ද වෙති.

කෙසේ වෙතත්, අද වන විට වෙරළබඩ සංවර්ධන කටයුතු හේතුවෙන් කඩොලාන පද්ධති ඉතා බරපතල තර්ජනයට ලක්ව ඇති බව නම් නොරහසකි. පෘථිවියේ සියලූම ජීවීන්ට දේශගුණික විපර්යාසයන්ගෙන් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා මෙවැනි සංකීර්ණ ජෛව විවිධත්ව කලාපයන් ඊට ආවේණික ප‍්‍රදේශයන්හි ඇති කිරීම, පවත්වාගෙනයාම හා ඒවා තිරසර අයුරින් කළමනාකරණය ද කාලීන අවශ්‍යතාවයකි.


මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට ලක්ව පැවති, ත්‍රිකුණාමල චීන වරාය අවට කඩොලාන පරිසරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරිපත් වූයේ මෙම අවශ්‍යතාවය හඳුනා ගනිමිනි. කොඩ්ඩියාර් බොක්ක ආශ්‍රිත මෙම කඩොලාන පවුර සුනාමි ව්‍යසනයෙන් එම ගොඩබිම් ප්‍රදේශ ආරක්ෂා කළ අතරම, අදටත් ප්‍රදේශවාසීන් දහස් ගණනකගේ ජීවනෝපාය මාර්ගය වන ධීවර කර්මාන්තයේ පදනම ද වේ. නමුත්, වෙරළට ඔබ්බෙන් වූ කඩොලාන වනාන්තර බොහොමයක් යුද සමයේ ආරක්ෂක හේතූන් මත ඉවත් කිරීමට සිදුවිය. එසේ විනාශ වූ කඩොලාන වනගහනය නැවත සිටුවීමේ ව්‍යාපෘතියක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ අවට ගම්මානවල ධීවර ප‍්‍රජාව සමඟ එක්ව 2012දී ආරම්භ කරන ලදී.

පරිසරයටත් ජනතාවටත් ප‍්‍රතිලාභ රැසක් අත්පත්කර දෙන මෙම දූරදර්ශී මෙහෙයුම ආරම්භ වූයේ, ත‍්‍රිකුණාමල සිමෙන්ති කර්මාන්තශාලා පරිශ‍්‍රය තුළ, දේශීය විශේෂ 7කට අයත් කඩොලාන බීජ 10,000ක් රෝපණය කරන ලද පැල තවානක් පිහිටුවීමෙනි. සාමාන්‍ය තත්ත්ව යටතේ රෝපණය කිරීම අතිශයින් දුෂ්කර ප‍්‍රභේදයන් ද ඒ අතර විය. සංරක්ෂණ විශේෂඥයන්ගේ මඟපෙන්වීම යටතේ කොඩ්ඩියාර් බොක්ක වෙරළ කලාපයට ආවේණික වූ විශේෂවල ස්වාභාවික සංයුතිය අනුවම නැවත සිටුවීම සිදු කෙරුණු අතර, ව්‍යාපෘතිය ඉදිරියට යත්ම, වසර 4-5ක කාලයක් ඇතුලත විනාශ වූ කඩොලාන වනාන්තරයට පුනර්ජීවනයක් ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවිය. කඩොලාන වගා කිරීමේදී ප්‍රථමයෙන් රෝපණය කරන ලද ගස්වලින් ස්වාභාවිකවම වැටෙන බීජ එකතු කර දෙවන අදියරේදී ප්‍රචාරණය කිරීම සිදුකෙරිණි.


ටෝකියෝ නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලාව යාබද අක්කර 20ක භූමි භාගයක කඩොලාන පැල 17,000ක් රෝපණය කරමින් ආරම්භ කළ අපගේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය, මේ වනවිට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ද ඇතිව ත‍්‍රිකුණාමලය සහ මන්නාරම වෙරළ තීරයේ කඩොලාන පැළ 60,000කට අධික ප‍්‍රමාණයක් සිටුවීමට සමත්වීම අප ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම ව්‍යාපෘතිය මඟින් වසරකට නව බීජ පැල 10,000ක් නිපදවන අතර එය උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ නැවත වගා කිරීම සිදු කරනු ලබයි. මේ අන්දමින් මෙම ප‍්‍රදේශවල තිබූ ස්වාභාවික කඩොලාන පරිසර පද්ධති ක‍්‍රමයෙන් පෙර පැවති සශ්‍රීකත්වයට පත් කරන්නට අපට හැකි වීම, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දිය හැකි හොඳම නිදසුනයි.

නැගෙනහිර වෙරළ තීරයේ ජෛව විවිධත්වයෙන් අනූන, වටිනා පාරිසරික පද්ධතියක් වන කඩොලාන වනගහනය, විද්‍යාත්මක පදනමක් මත පිහිටා නැවත ප්‍රතිස්ථාපනය කිරීමට දියත් කළ නිහඬ මෙහෙයුම අද වන විට එම ප්‍රදේශයට මිල කළ නොහැකි වටිනාකමක් එක් කර තිබේ. එමතු නොව, කඩොලාන ශාඛ ගහණ පිළිබඳ අධ්‍යයනය කරන සිසුන්ට සහ පර්යේෂකයන් සඳහා අගනා ස්වභාවික විද්‍යාගාරයක් බවට ද මෙම පරිසර පද්ධතිය පත් වී ඇත. ව්‍යාපාරික අරමුණුවලින් එහා ගිය දූරදර්ශී දැක්මක් පෙරදැරිව කටයුතු කිරීමෙන් පරිසර සංරක්ෂණය උදෙසා කළ හැකි අනූපමේය සේවයට මේ නිල්ල පිරුණු කඩොලාන සමූහයා ජීවමාන නිදසුනකි.

content image
  • අපගේ කර්මාන්තශාලා පරිශ‍්‍රයේ ඇති තවාන තුළ ඒකදේශීක කඩොලාන විශේෂ 7කට අයත් පැළ 10,000ක් පෝෂණය කෙරේ.
  • කොඩ්ඩියාර් බොක්ක වෙරළ කලාපයට ආවේණික වූ ස්වාභාවික ශාඛ සංයුතිය රැකෙන පරිදි නැවත වගා කිරීමේ කටයුතු සිදු කෙරේ.
  • අපගේ කර්මාන්ත ශාලාව අවට වෙරළ තීරයේ රෝපණය කෙරුණු 17,000කට ආසන්න කඩොලාන වගාව, මේ වනවිට ජෛව විවිධත්වයෙන් අනූන සශ්‍රීක වනාන්තර පද්ධතියකි.
  • ව්‍යාපෘති ආරම්භයේ සිට මේ දක්වා අපි, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ද ඇතිව, ත‍්‍රිකුණාමල බොක්ක අවට වෙරළ කලාපයේ කඩොලාන ශාඛ 60,000කට වැඩි ප‍්‍රමාණයක් සිටුවා ඇත්තෙමු.