අපේ සමාගම

ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම 1982 වසරේදී ජපානයේ Mitsui Mining Co. සමාගම (පසුව මෙය Nippon Coke & Engineering Company වෙත පවරා ගන්නා ලදී) සහ ශ්‍රී ලංකාවේ සෙන්ට් ඇන්තනීස් කොන්සොලිඩේටඩ් සමාගම එක්ව ආරම්භ කරනු ලැබූවක් වන අතර, මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ අප සමාගමේ නිර්මාතෘ සහ ආරම්භක සභාපති වූ දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිඳුන්ය. මෙතුමාගේ දුරදර්ශි දැක්ම අනුව සවිමත් ව්‍යාපාරික පදනමක් මත ස්ථාපිත කරන ලද ටෝකියෝ සිමෙන්ති සමාගම, 1984 වසරේදී කොළඹ කොටස් හුවමාරුව යටතේ ලැයිස්තුගතව සිටි එකම පුද්ගලික සිමෙන්ති නිෂ්පාදකයා ද වූ අතර, මෙතුමාගේ නායකත්වයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් ඇති කරන්නට ද සමත් වූ බව නොරහසකි.

මෙසේ ඇරඹි පෙරළිකාර ගමන්මගේ හිනිපෙත්තට යමින්, ඉහළම ප්‍රමිතියේ සිමෙන්ති, කොන්ක්‍රීට් හා සිමෙන්ති ආශ්‍රිත නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන රැසක් ද සමඟින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස වසර ගණනාක් පුරා රැඳී සිටින්නට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව ඇත. මෙරට ISO ප්‍රමිතියෙන් යුතු එකම ‍සිමෙන්ති හා කොන්ක්‍රීට් පර්යේෂණාගාරයේ හිමිකාරීත්ව උසුලන්නේ ද ටෝකියෝ සමාගමයි.  නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවත්නා ගුණාත්මක බව සහ උසස්ම ප්‍රමිතිය නිසා, ISO 14001 පරිසර කළමනාකාරණ පද්ධති සහතිකය සහ ISO 9001 ප්‍රමිති කළමනාකාරණ පද්ධති සහතිකය යන ඇගයීම්වලින් පිදුම් ලද පළමු ලාංකික සමාගම බවට පත් වන්නටද අපට හැකිවිය. එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ පවත්නා පරිසර හිතකාමී බව සහතික කළ ‘හරිත සලකුණ’ (GREEN Mark) සහතිකය හිමිකරගත් පළමු සිමෙන්ති වෙළඳනාමය ලෙසින් ද නම් දරන්නේ සමාගමේ විශේෂිත සිමෙන්ති සන්නාමය වන ටෝකියෝ සුපර් සිමෙන්තියයි.

ලෝකයේ නව තාක්ෂණය සමඟ නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින්, මෙරට සිමෙන්ති කර්මාන්තයට නව හඳුන්වාදීම් රාශියක් සිදු කරන්නට ද ටෝකියෝ සමාගම පුරෝගාමීව කටයුතු කර ඇත.  ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු ස්වයංක්‍රීය සිමෙන්ති නිෂ්පාදනාගාරය ඊට එක් නිදසුනකි.  අපේ රට ‘කොන්ක්‍රීට් වනාන්තරයක සිට හරිත භූමියක් දක්වා’ වෙනස් කරන්නට පියවරෙන් පියවර යන ගමනක් අප විසින් ආරම්භ කරන ලද්දේ අනාගත පරපුරට හරිතවත්, යහපත්, තිරසර හෙටක් උදාකර දීමේ අරමුණ පෙරදැරිවය. මෙහි එක් පියවරක් වූ අපගේ ජෛව බලශක්ති වැඩසටහන හරහා, මේ වන විට 23MW/h ක ධාරිතාවෙන් යුත් හරිත බලශක්තියක් උත්පාද කිරීමට අපට හැකි වී ඇති අතරම, ශ්‍රී ලංකාවේ දැවැන්තම පුනර්ජනනීය බලශක්ති සම්පාදකයා ලෙස පසුගිය දශකය පුරාම අප නම් දරා සිටියේ අවම කාබන් පාසටහනකට උරුමකම් කියමිනි. අපගේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම අවශ්‍ය බලශක්තිය 100%ක් ජාතික විදුලි පද්ධතියෙන් ස්වාධීනව උත්පාදනය කරගන්නට අප සමත් වී සිටින්නේ අපගේ මෙම පොරොන්දුව ස්ථිර කරවමිනි.

අපගේ දේශයත්, ජනතාවත්, පරිසරයත් පෝෂණය කරමින් සාර්ථක සමාජ සත්කාර වැඩසටහන් රාශියක් අප විසින් දියත් කොට ඇත.  අප විසින් ක්‍රියාත්මක කර ඇති පරිසර සංරක්ෂණ ව්‍යාපෘති අපගේ ව්‍යාපාරික ගමන්මගෙහි කැපී පෙනෙන සන්ධිස්ථානයන් සේ නම් කළ හැකි අතර, ඊට නිදසුන් ලෙස කොරල් පර සහ කඩොලාන නැවත වගා කිරීමේ ව්‍යාපෘති මෙන්ම, වන වගා කටයුතු සඳහා අවශ්‍ය පැළ තවාන් පවත්වාගෙන යාම වැනි ව්‍යාපෘති පෙන්වා දිය හැකිය.  මේ සියල්ල තුළින් පෙනී යන්නේ, අප රට සතු අසමසම ජෛව විවිධත්වය තිරසර අයුරින් පවත්වා ගෙන යාම සඳහා පරිසරයේ වැදගත්ම අංශයන් සංරක්ෂණය කළ යුතුය යන අපගේ තිර අදිටනයි.

ව්‍යාපාරික ආයතනයක් ලෙස, ලාභාංශ වර්ධනය කරගැනීම හරහා කොටස් හිමිකරුවන්ගේ විශ්වාසය දිනා ගන්නා අතරම අනෙක් අතින්, තිරසර පරිසරයක් උදෙසා වන ගෝලීය ප්‍රමුඛතා වෙනුවෙන් උපරිමයෙන් කැපවෙමින් කටයුතු හැකි බවද අපි සාක්ෂි සහිතව සනාථ කොට ඇත්තෙමු.

අපගේ ආයෝජනයන් සෑම විටම නවෝත්පාදනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීම අපගේ බලාපොරාත්තුවයි. නවීන තාක්ෂණයෙන් සමන්විත නිෂ්පාදනාගාරයන්හි, උසස්ම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරන අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා තවදුරටත් මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස අඛණ්ඩව රැඳී සිටීමට ද අපට හැකි වී ඇත.  ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයන් වූ දැවැන්ත ගොඩනැඟිලි, පාලම්, දුම්රිය මාර්ග සහ අධිවේගී මාර්ග ඇතුළු බොහෝ ඉදිකිරීම් සඳහා යොදා ගනු ලැබුවේද උසස්ම ප්‍රමිතියෙන් යුතු අපගේ සුපිරි නිෂ්පාදන පෙළයි. දේශය ගොඩනඟන මෙහෙවරට ඉදිරියටත් අභිමානයෙන් යුතුව උර දෙන්නට ටෝකියෝ සමූහය සැදී පැහැදී සිටියි.