සමුද්‍ර ජීවීන්ගෙන් හතරෙන් එකක් පමණ වාසය කරන, සාගරයේ සදාහරිත වනාන්තර ලෙස හැඳින්වෙන කොරල් පර, මිනිසාගේ පමණක් නොව සියලු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතීන් වේ. ආහාර දාම රැසක පළමු පුරුක ලෙස ජීවින් දහස් ගණනක් පෝෂණය කරනවාට අමතරව, ධීවර හා සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ ගණනකගේ ජීවන වෘත්තීන් රැකදෙන්නේ ද කොරල් පර විසිනි. මහා සාගරයෙන් ගොඩබිම වෙත එල්ල වන තර්ජනයන්ට එරෙහිව නැගී සිටින පළමු පවුර වන කොරල් පර, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම ස්වාභාවික උවදුරු නිසා සිදුවන පාරිසරික වෙනස්වීම් සහ පරිසර දුෂණය නිසා පළමුවෙන්ම තර්ජනයට ලක්වන පරිසර පද්ධතිය ද වේ. මනුෂ්‍ය ප්‍රජාවේ සංවර්ධන උවමනාවන් නිසා මුලින්ම විනාශයට ලක්වන්නේ මෙම කොරල් ගහනය වන මුත්, එම හානිය හේතුකොටගෙන සිදුවන පාරිසරික මෙන්ම ආර්ථික බලපෑම ගණනය කළනොහැකි තරම් අතිමහත්ය.


කෙසේ වෙතත්, අහිතකර මිනිස් ක‍්‍රියාකාරකම් නිසා මේ වන විට වැඩි වශයෙන් තර්ජනයට ලක්ව ඇති මෙම කොරල් පර බොහෝමයක් විනාශ මුඛයට පත්වෙමින් ඇති බවක් දැකිය හැකිය. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා කොරල් විරංජනය වීම හා කොරල් මිය යාම කොරල් පර ආශ‍්‍රිත පරිසර පද්ධතියට විශාල තර්ජනයක් වී තිබේ. කොරල් විරංජනය යනු කොරල්වල වර්ණය නැති වී සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරෙන ක‍්‍රියාවලියයි. කොරල් ජනපදවල ජීවත්වන ඇල්ගී වර්ග නිසා කොරල් පරවලට විශේෂ වර්ණයක් ලැබෙන අතර, සාගර උෂ්ණත්වය, ආලෝකය හෝ පෝෂ්‍ය පදාර්ථවල වෙනස්වීම් ආදිය නිසා ඇල්ගී මියයාම මෙම විරංජන ක‍්‍රියාවලිය වේගවත් කරනු ලබයි.


කොරල් පර සංරක්ෂණ ක‍්‍රියාවලියේදී කොරල් පරවල ඇති වැදගත්කම සහ එහි වැඩීමට අවශ්‍ය හිතකර සාධක වටහා ගැනීම ද වැදගත් වේ. තවද, කොරල් පර නිසි ලෙස කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සලකා බැලිය යුතුයි.

content image
content image

2012 වසරේදී ටෝකියෝ සිමෙන්ති සමූහය සහ තවත් හවුල්කාර පාර්ශව කිහිපයක එකතුවෙන් කොරල් පර සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, මෙහිදී, තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියෙන් පසු ඉවත දමන කොන්ක්‍රීට් සාම්පල භාවිතයෙන් සාදන, සිදුරු සහිත අර්ධ ගෝලාකාර සැකිලිමය ව්‍යුහයන් (Reef Balls) සාගර පතුලේ තැම්පත් කිරීම සිදු කෙරේ. නැගෙනහිර වෙරළ තීරය ආශ‍්‍රිතව සිදු කළ මෙම ව්‍යාපෘතිය හරහා එම කොරල් පර පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වූ අතර, 2017 වසරේ සිට එම සංරක්ෂණ ව්‍යාපෘතිය විද්‍යානුකූල දත්ත මත පදනම් වූ ඵලදායී සංරක්ෂණ ක්‍රියාවලියක් බවට පත්කෙරිණි.


මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස ත‍්‍රිකුණාමළයේ චීන වරාය සහ කොඩ්ඩියාර් බොක්ක (Cod Bay) යන වෙරළ කලාපයන්හි නව කොරල් තවාන් ආරම්භ කළ අතර, මෙහිදී විවිධ වර්ගයේ කොරල් තවාන් රෝපණය කර පෝෂණය කිරීම සිදු කරන ලදී. මේ සඳහා අපගේ ව්‍යාපෘති හවුල්කරුවකු වන වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරයේ ^WRCT& සහය ලබාගැනිනි.


ටෝකියෝ සිමෙන්ති සමාගමේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා, ව්‍යාපෘතියේ තවත් හවුල්කාර ආයතනයක් වන Blue Resources Trust (BRT) සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව, පාසිකුඩා හි, කයාන්කර්නි කොරල් පරයේ දීර්ඝ කාලීන අධ්‍යයනයක් ද සිදු කළ අතර, එහිදී reef ball ව්‍යුහ මත රෝපණය කරන ලද කොරල්වල වර්ධන වේගය අධීක්ෂණය කිරීම, වේගයෙන් වර්ධනය වන ප‍්‍රභේද හඳුනා ගැනීම, විවිධ පාරිසරික තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ආදී කරුණු අධ්‍යයනය කෙරුණි.

මත්ස්‍ය සහ කොරල් සම්පත ඇතුළු සත්වගහනය ලේඛනගත කිරීම සඳහා ගෝලීය වශයෙන් ප‍්‍රමිතිගත සාගර සමීක්ෂණ ක‍්‍රම රැසක් භාවිතයට ගැනීම 2017 සිට සිදුකෙරුණු අතර, දේශන හා ප‍්‍රායෝගික සැසි මාලාවක් හරහා නාවික කිමිදුම්කරුවන්ට එම ක‍්‍රමවේදයන් හඳුන්වා දීම සිදු කරන ලදී. එහිලා කොරල් පර හා සම්බන්ධ පරිසර විද්‍යාව සහ කොරල් පරවලට ඇති වර්තමාන තර්ජන මෙන්ම සාගර සංරක්ෂණය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ද අනාවරණ කෙරිණ.


Reef Ball ස්ථාපනය, කොරල් තවාන් පිහිටුවීම හා නඩත්තු කිරීම පිළිබඳ තෝරාගත් නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමක් පුහුණු කරන ලද අතර, මෙම නාවික කිමිදුම්කරුවන් විසින්, හවුල්කාර ආයතනවල සාගර විද්‍යාඥයින් සහ සංරක්ෂණ විශේෂඥයන්ගේ මගපෙන්විම ඇතිව යාපනය, ත‍්‍රිකුණාමලය, ගාල්ල සහ කල්පිටිය නාවික කඳවුරු ආශ‍්‍රිත වෙරළ කලාපයන්හි තනිවම කොරල් පර සිටුවීම සිදුකරනු ලබයි. ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය දැනටත් ඉතා පුළුල් ලෙස පවත්වා ගෙන යනු ලබන අතර ටෝකියෝ සිමෙන්ති සමාගම ඊට අවශ්‍ය කොන්ක‍්‍රීට් Reef Ball ව්‍යුහ සැපයීමෙන් සහාය දක්වයි.

content image
reef map image

පර්යේෂණ හා අධ්‍යාපන වැඩසටහන්

reef icon image

කොරල් පර නිරීක්‍ෂණය සඳහා දීර්ඝ කාලීන වැඩසටහනක් ස්ථාපනය කිරීම.

reef icon image

විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ ස්වේච්ඡා පර්යේෂකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

reef icon image

ප‍්‍රජාව දැනුවත් කිරීම හා ශ‍්‍රමදාන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.

අපගේ හවුල්කාර ආයතන

reef logo image
reef logo image
reef logo image
reef logo image