ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙමින් පැවති ශ‍්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය, 2022 දී රට මුහුණ පෑ දරුණු ආර්ථික පසුබෑමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ යන බවක් වාර්තා විනි. ආර්ථික අර්බුදය වඩාත් තීව‍්‍රවීමත් සමඟ දරිද්‍රතා අනුපාතය සියයට 25 දක්වා දෙගුණයක් වූ අතර එය තවදුරටත් ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර නියෝජිතායතන කිහිපයක් විසින් පුරෝකථනය කරනු ද දැකිය හැකිවිය. තවද, එහි ප‍්‍රතිඵලයක් ලෙස මධ්‍යස්ථ හෝ උග‍්‍ර ආහාර අනාරක්ෂිත බවට මුහුණ පා සිටින ජනගහනයෙන් සියයට 17කට වැඩි ප‍්‍රමාණයකට මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇති බවට වාර්තා වුනු අතර, වයස අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් සියයට 31ක් - විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකම අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් -මන්දපෝෂණයෙන් සහ වර්ධන ඌනතාවයන්ගෙන් පෙළෙන බව ද එම වාර්තා වලින් පෙන්වා දී තිබිනි.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඔවුන්ගේ යහපැවැත්ම සහ වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන සාධකයක් බව අවිවාදිතයි. වේගයෙන් හිස ඔසවන ළමා මන්දපෝෂණය මැඩලීමට නිසි පියවර නොගතහොත්, අපගේ අනාගත පරම්පරාවේ බොහෝ දරුවන් මානසික හා කායික සංවර්ධනය ඌනතාවන් සහ ඒ ආශ‍්‍රිත රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ අතිවිශාලයි. තවද, පාසැල් දරුවන්ට ආහාර වේලක් ලබාදීම මගින් ඔවුන්ගේ මූලික පෝෂණ අවශ්‍යතාවයන් පිරිමැසීම සිදුකෙරෙන විට, ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින දෙමව්පියන් තම දරුවන් පාසල් යැවීමට ඇති නැඹුරුව වැඩිවෙනු ඇති අතර, එමගින් දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රවේශය ද අඛණ්ඩව පැවතෙනු ඇත.

නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් යනු ජාතියක විශාලම සම්පතයි. පවතින සමාජ-ආර්ථික අභියෝගයන් හමුවේ පැන නැගුණු මෙම මානුෂීය ගැටලුවට ප්‍රායෝගික මෙන්ම ස්ථිරසාර පිළියමක් යෙදීමට, ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛ හවුල්කරුවා වන ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරිපත් වන්නේ මෙම කාලීන වගකීම නිවැරදිව හඳුනාගනිමිනි. පාසල් දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීම උදෙසා, අඩු පහසුකම්ලාභී තෝරාගත් ග්‍රාමීය පාසල්වල දරුවන්ට අධ්‍යයන වර්ෂය පුරා, දිනපතා පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමට කැප වූ “සුපෝෂිත දැයක්” වැඩසටහන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දියත් කරන ලද්දේ මෙම උදාරතර අරමුණ පෙරදැරිවයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” යනු පාසල් දරුවන්ට ආහාරවේලක් සපයන තවත් එක් වැඩසටහනක් නොව, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය පිටුබලයක් ලෙස ඔවුන් පාසලට පැමිණීම දිරිගැන්වීම ඉලක්ක කරගත් දූරදර්ශී ව්‍යාපෘතියකි.

එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම පිණිස පාසල තුලදී සෞඛ්‍ය සම්පන්න දිවා ආහාර වේලක් ලබාදීමේ වැදගත්කම නිවැරදිව හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිර්මාතෘ, දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් විසින් එතුමන් සභාපතීත්වය ඉසිලූ සමයේ පටන් මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි තෝරාගත් පාසල් කිහිපයක සිසුන්ට දහවල් ආහාරය ලබාදෙමින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම සමාජ මෙහෙවර පසුගිය වසර ගණනාවක් පුරා නිහඬව ක්‍රියාත්මක කෙරිනි.

සුපෝෂිත දැයක් පාසල් දූදරු පෝෂණ පූර්ණන වැඩසටහනේ නව අදියර 2022 වසරේ මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් හතරකින් පටන් ගැනුනු අතර, 2025 වසර අවසානය වනවිට මොණරාගල, මුලතිවු, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල තෝරාගත් පාසල් 11 ක පාසල් දරුදැරියන් 1,317ක් වෙනුවෙන් ක්‍රියාත්මක වේ

මෙම වැඩසටහන සඳහා පාසල් ප්‍රජාවේ සියලුම පාර්ශ්වකරුවන් කණ්ඩායම් සම්බන්ධ කර ගන්නා අතර, ඊට පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප භාර නිලධාරීන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යාංශ :ඵධ්‍ය* කාර්යාලයට අනුයුක්ත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක :ඡ්‍යෂ* ඇතුළත් වේ. මෙම වැඩසටහනින් ලබාදෙන දෛනික ආහාර වේල, වැඩෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින්, සියලුම ප්‍රධාන ආහාර ඛාණ්ඩ, ධාන්‍ය වර්ග, නැවුම් කිරි නිෂ්පාදනයක් සහ ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි පලතුරු වර්ගයකින් ද සමන්විත වන සේ සකසනු ලබයි.

දරුවන්ගේ දෛනික ආහාර පිළියෙළ කිරීම ස්වේච්ඡා දෙමව්පිය කණ්ඩායම් විසින් සිදුකරනු ලබන අතර විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව තහවුරු කරනුවස්, ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිතිපතා පාසල්වලට පැමිණ වැඩසටහන අධීක්ෂණය කරනු ලබයි.

ආහාර පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුකිරීමට හැකිවන පරිදි, සෑම පාසලකම මුළුතැන්ගෙය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික මුළුතැන්ගේ උපකරණ සහ පහසුකම් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සපයාදී ඇත. තවද, සිසුන්ට මෙම සෞඛ්‍ය සම්පන්න දිවා ආහාරය නියමාකාරයෙන් අඛණ්ඩව සැපයීම සහ දරුවන්ගේ වර්ධන අවශ්‍යතාවන් එමඟින් සම්පූර්ණ කරවීම තහවුරු කරනුවස්, පාසලේ විදුහල්පති සහ ගුරුවර-මව්පියන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක පරීක්ෂාව යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පරිපාලන සහාය ඇතිව ක්‍රියාත්මක වන විධිමත් අධීක්ෂණ ක්‍රියාවලියක් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරවයි.

මේ වනවිට සුපෝෂිත දැයක් පාසල් දූදරු පෝෂණ පූර්ණන වැඩසටහන ක්‍රියාත්මක වන සියලුම පාසල්වල දෛනික පැමිණීමේ සහ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා කිරීම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ නිහතමානී ආඩම්බරයක් සහ එය වඩාත් හොඳින් පවත්වාගෙනයාමට අවශ්‍ය දිරිගැන්වීමක් ද සපයයි. මෙම සියලුම පාසල් වල අධ්‍යයන කාර්යසාධනයේ කැපී පෙනෙන දියුණුවක් වාර්තා කර ඇති අතර, ශිෂ්‍යයන් පාසලතුල රඳවා ගනිමින් ඔවුන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ඉහළ ප්‍රතිශතයක් පවත්වා ගෙන යාමට ද වැඩසටහන දායකවී ඇත.

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ක්‍රියාත්මක කරන සුවිශේෂී සමාජ සුභසාදන වැඩසටහන් අතර සුපෝෂිත දැයක් පාසල් දූදරු පෝෂණ පූර්ණන ව්‍යාපෘතිය ප්‍රමුඛ තැනක් ගන්නා අතර, ඒ හරහා අප රටේ ජන ජීවිත නඟාසිටුවීම උදෙසා අත්‍යවශ්‍ය පිටුබලයක් ලබාදීම සමාගමේ අභිලාශයයි.