2018 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

2018 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

සිය බෙදාහැරීම් ජාලයේ අති විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නොබෝදා පැවැත්විණි. 300කට අධික අලෙවි නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේදී, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2018 වසරේ හොඳම අලෙවි නියෝජිත කිරුළ හිමිකරගත් අතර, දෙවන ස්ථානය මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් ආයතනයත්, තුන්වන ස්ථානය මඩකලපුවේ අහිලා හාඩ්වෙයාර් ආයතනයත් හිමිකරගන්නා ලදී.

දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින් අතිසාර්ථක ලෙස සිය වෙළඳ ඉලක්ක ජයගත් බෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයන් 175ට අධික සංඛ්‍යාවක් කාණ්ඩ කිහිපයක් යටතේ එදින සම්මානයට පාත්‍ර වූහ. සිය සහෝදර වෙළඳ ප්‍රජාව ඉදිරියේ, ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සමුළුවෙදී සියළු ජයග්‍රහකයින්ට වටිනා විදේශ සංචාර ඇතුළු ත්‍යාග රැසක් හිමිකරදෙන ලදී. විචිත්‍රවත් නර්තනාංග සහ සංගීතයෙන් පිරි මෙම සමුළුව, ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීම් ජලයේ සියලු සාමාජිකයින්ගේ උද්‍යෝගිමත් සතුටු හමුවක් ලෙස සනිටුහන් විය.

මෙහිදී, ආයතනයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණ වෙනුවෙන් අලෙවි ජාලයේ සියලුම සාමාජිකයන්ට සිය ප්‍රණාමය පුදකර සිටි ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා, “ආරම්භයේ පටන් අද දක්වා ටෝකියෝ සිමෙන්ති සමාගමට විශිෂ්ඨ ඉලක්ක කරා ගමන්කිරීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ අපගේ අලෙවි නියෝජිතයන් සමාගම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය යි. ඔබගේ දිරිගැන්වීමෙන් ටෝකියෝ සිමෙන්ති නාමය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංක.1 බවට ඔසවා තැබූ ඉහළම ප්‍රමිතියේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ වටිනාකම එක් කළ නවෝත්පාදන රැසක් අප පාරිභෝගිකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සමාගමට හැකිවූ බවත්, මෙම සමුළුවේදී හිමිකරගන්නා ජයග්‍රහණ ඒ සඳහා දක්වන කෘතවේදීත්වයේ කොටසක්” බවත් පැවසීය.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ අළෙවි කළමනාකාර දශන්ත උඩවත්ත මහතා උත්සවය අමතමින් එදින ජයග්‍රහණය හිමිකරගත් සියලු ව්‍යාපාරික සහකරුවන්ට සිය සුභපැතුම් එක් කළේය. දැඩි තරඟකාරී වෙළඳපොල අභියෝග ජයගනිමින් සමාගම සමග නොසැලෙන බැඳීමකින් එක්ව සිටින සිය අලෙවි නියෝජිතයන්ට සිය හෘදයාංගම ස්තුතිය එක් කරමින් ඔවුන් තබා තිබෙන නොබිඳෙන විශ්වාසය වඩාත් තහවුරු කිරීමට තමන් ඇතුළු සමාගමේ සෑම නිලධාරියෙක්ම කැපවී සිටින බව පැවසීය.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා දිවයිනේ නන්දෙසින් පැමිණි අලෙවි නිලධාරී මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්, විචිත්‍රාංග රැසකින් සපිරි වර්ණවත් හමුවක් වූ මෙම වාර්ෂික සමුළුව සමාගම විසින් සිය බෙදාහැරීම් සහ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් අතරින් ප්‍රමුඛතම උත්සවයයි. මිට අමතරව, ඔවුන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය අරමුණු කරගත් වෙළඳපොල සංවර්ධන වැඩසටහන්, පුහුණු ව්‍යපෘති සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ද සමාගම විසින් සිය අලෙවි ජාලයේ ප්‍රගමනය උදෙසා සංවිධානය කරනු ලබයි. මේ හරහා වෙළඳපොල අභියෝග සාර්ථකව ජයගනිමින් තම තනි පුද්ගල ව්‍යාපාර වඩාත් දියුණු, මහා පරිමාණ වෙළඳ ජාල බවට පත්කරගැනීමට අවශ්‍ය ව්‍යවසායක දැනුම මෙම ව්‍යාපාරිකයන්ට ලබාදෙයි. සිය අලෙවි නියෝජිතයන් දිරිගන්වමින් මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේම ගුණාත්මකභාවය ඉහල නැංවීම හරහා ටෝකියෝ සිමෙන්ති සමුහය මෙම ක්ෂේත්‍රයේ හිමිකරගෙන සිටින අංක.1 ස්ථානය ශක්තිමත්ව තහවුරු කරගැනීම මෙහි පරමාර්ථයයි. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.