රජයේ වෑයම සවිගන්වමින් ටෝකියො සිමෙන්ති සමාගම නාවක්කුලම ජනතාවගේ “දිවියට දිය දෝතක්” පිළිගන්වයි

රජයේ වෑයම සවිගන්වමින් ටෝකියො සිමෙන්ති සමාගම නාවක්කුලම ජනතාවගේ “දිවියට දිය දෝතක්” පිළිගන්වයි

රජයේ සෞභාග්‍යයේ දැක්මේ එක් වැදගත් ඉලක්කයක් ළඟා කර ගැනීමට දායක වෙමින්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවක්කුලම ප්‍රදේශයේ වැසියන්ට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දෝතක්’ පානීය ජල පිරිපහදුවක් නොබෝදා තිළින කෙරිණි. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරුනු ‘දිවියට දිය දෝතක්’ ව්‍යාපෘතිය හරහා, ගොවිතැන සිය ජීවිකාව කරගත් නාවක්කුලම ගම්වැසියන් 500කට පානීය ජල පහසුකම් සැලසෙනු ඇත. ගොවි පවුල් 125කට අයත් මෙම පිරිස බොහෝ කලක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDu) පීඩාවට පත්ව සිටියහ. මීට මාස කිහිපයකට පෙර, කිලිනොච්චියේ පූනාකරිහි ගම්මාන තුනක වැසියන්ට පානීය ජලය ලබාදීමෙන් ආරම්භ කෙරුනු ‘දිවියට දිය දෝතක්’ වැඩසටහනේ දෙවන අදියර සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නාවක්කුලම තෝරාගැනීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම තත්වයයි. වැඩසටහනේ අරමුණ පිළිබඳව සිය අදහස් දැක්වූ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතීඥ හර්ශ කබ්රාල් මහතා පැවසූයේ, “වසර 2025 වනවිට සියළු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීම අරමුණු කරගත් ‘සැමට ජලය’ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා, ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති රැසක් රජය විසින් දියත් කර තිබෙනවා. පිරිසිදු ජලය ලබා ගැනීම දැඩි ගැටළුවක්ව පවතින ප්‍රදේශවල තෝරාගත් ගම්මානවල වැසියන්ට පානීය ජලය සපයන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දෝතක්’ වැඩසටහන ආරම්භ කළේ මෙම මානුශීය ප්‍රයත්නයට සහය දැක්වීම පිණිසයි. විශේෂයෙන්ම නාවක්කුලම ගමේ වැසියන්ගේ පානීය ජල ගැටළුව, ඔවුන් රෝගී කරවමින් හා ජීවිත අවදානමට ලක් කරමින් ඔවුන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා තිබුනා. මෙම ගැටලුව නිරාකරණය උදෙසා අපට ඉටුකළ හැකි කාර්‍යභාරය හඳුනාගෙන, ‘දිවියට දිය දෝතක්’ පානීය ජල පවිත්‍රාගාරයක් නාවක්කුලම ගමේ ස්ථාපිත කිරීම ඇත්තෙන්ම ඔවුන්ට පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් තිලිණ කිරීමක් ද වනවා. දිගු කාලීනව නිදන්ගත වකුගඩු රෝගයෙන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට දායකවන අතරම, මෙම වැඩසටහන හරහා රජයේ ඉලක්කය සපුරාගැනීමට අපගේ ශක්ති පමණින් දායක වන්නට හැකිවීම අපගේ සතුටට කාරණයක්.”     ජලය ගබඩා කිරීම සඳහා ජල ටැංකි ආදියෙන් සමන්විත ‘දිවියට දිය දෝතක්’ අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතිය ස්ථාපිත කීරීම, නාවක්කුලම වැසියන්ගේ ජීවිත පීඩාවට පත් කළ නිදන්ගත වකුගඩු රෝගයෙන් ඔවුන් මුදවාගැනීම පිණිස ලබාදියහැකි වටිනාම තිළිනය ලෙස හැඳින්විය හැකියි. ප්‍රදේශයේ භූගත ජලයේ තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රති-ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය (Reverse Osmosis (RO) Water Purification) අනුව නිර්මාණය කරන ලද, දිනකට ජලය ලීටර් 5000ක ධාරිතාවයක් සහිත මෙම ජල පෙරණ පද්ධතියෙන් ඔවුන්ගේ දෛනික පානීය ජල අවශ්‍යතාවයන් සපිරෙනු ඇත. පළමු වසර තුන තුළ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිදු කරන ඇති අතර, උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ මගපෙන්වීම ඇතිව, පද්ධතියේ තිරසාර පැවැත්ම හා පානීය ජල ව්‍යාපෘතියෙන් සැළසෙන සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි එය කළමනාකරණය නාවක්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සිදු කරනු ඇත.     ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දෝතක්’ මීළඟ අදියරේදී ලීටර් 10,000ක ධාරිතාවයෙන් යුත් ප්‍රති-ආස්‍රැති (RO) ජල පිරිපහදු පද්ධති 5ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන 5කට තිලිණ කිරීමට සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි. නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවට ‘දිවියට දිය දෝතක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තුවක් තිලිණ කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අරමුණයි.