යාපන අර්ධද්වීපයේ කඩොලාන සංරක්‍ෂණ කිරීමේ නාවික හමුදා මෙහෙවරට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සහය

යාපන අර්ධද්වීපයේ කඩොලාන සංරක්‍ෂණ කිරීමේ නාවික හමුදා මෙහෙවරට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සහය

සමුද්‍ර සහ වෙරළ සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ පෙරටුගාමී දෙපාර්ශ්වය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආ‍රාධනයෙන් පොන්නාලෙයි පැවති කඩොලාන රෝපණ වැඩසටහනට එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීමේ දූරදර්ශී අරමුණ ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ 5,000ක් සිටුවීමේ වැඩසටහනක් දියත් කරඇත. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මගපෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කලපු ආශ්‍රිතව කඩොලාන පැළ සිටුවීම සිදුකෙරේ. මෙම මහඟු වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් ටෝකියෝ සිමෙන්ති සමූහය සිය ත්‍රිකුණාමල කර්මාන්තශාල පරිශ්‍රයේ පිහිටි කඩොලාන පැල තවානෙහි රෝපණය කරන ලද පැළ 3,500කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව වෙත සපයා දෙන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සම්පාදනය කළ කඩොලාන පැළ ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා නෞකාවකින් ප්‍රවාහනය කෙරිනි. ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සටහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සංවිධානය කළ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා කරෙයිනගර් දූපත ආසන්නයේ පොන්නාලෙයි කලපුතීරය අවට පැවැත්විනි. සමුද්‍ර සහ වෙරළ සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ පෙරටුගාමී දෙපාර්ශ්වය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා මේ අවස්ථාවට සහභාගීව සිටියහ. නාවික හමුදාවේ මෙම සුවිශේෂී උත්සාහයට සහාය දැක්වීම සඳහා යාපනය දිසාපති/දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සහ යාපනය ධීවර ප්‍රජාවගේ ප්‍රධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා නාවික හමුදාව ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙහෙයවනු ලබන සාර්ථක පාරිසරික සංරක්‍ෂණ ව්‍යාපෘති දෙකක ගෞරවනීය දිගුකාලීන හවුල්කරුවෙකි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල්පර සංරක්ෂණ සහ කඩොලාන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන් ද්විත්වයේ ව්‍යාප්තිය මෙන්ම සාර්ථකත්වය වැඩිකර ගැනීමට නාවික හමුදාවේ නොපසුබට සහය විශාල පිටිවහලක් සපයයි. නාවික හමුදාව විසින් මේ වන විට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ත්‍රිකුණාමලයේ කඩොලාන තවානෙහි ප්‍රචාරණය කරන ලද කඩොලාන පැළ 20,000 කට අධික ප්‍රමාණයක් නැගෙනහිර සහ උතුරු වෙරළ තීරයේ සිටුවා ඇත. යාපනය අර්ධද්වීපයේ ස්වභාවික කඩොලාන වනාන්තරය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම දූරදර්ශී මුලපිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වීම මෙම වටිනා හවුල්කාරිත්වය වඩාත් ශක්තිමත් කරවනු ලබන අතර එමගින් අපේ රට, අප ජනතාව සහ අප පරිසරය ස්ථිරසාරවත් ලෙස සුපෝශණය කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරයි.