ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන පුළුල් කරයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන පුළුල් කරයි

ටෝකියෝ සිමෙන්ති සමූහය, තම “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහනේ ඉදිරි පියවරක් තබමින් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් 179ක් ඊට දායක කරගත් බව දන්වා සිටියි. ඒ අනුව, කොටියාගල, මො/සි/වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලය, සියඹලාණ්ඩුව, මො/සි/බඹරගස්රොද කනිෂ්ඨ විද්‍යාලය, කඳන්කැටිය, මො/සි/බරවාය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දඋඩපංගුව, මො/සි/දනකිරිය කනිෂ්ඨ විද්‍යාලය යන ප්‍රාථමික පාසැල් සතරේ සිසුන්හට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන යටතේ සතියේ දින පහේම සමබල දිවා ආහාර වේලක් පිරිනැමෙනු ඇත.

ත්‍රිකුණාමලය තිරියාය මහා විද්‍යාලයේ සිසුන් 300 කට අධික පිරිසකට දහවල් ආහාරය ලබාදෙමින් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙම සමාජ මෙහෙවර පසුගිය වසර ගණනාවක් පුරා නිහඬව ක්‍රියාත්මක කෙරිනි. මෙවර මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් එක් කරගැනීමත් සමඟම, දුෂ්කර පසුබිම්වලින් පැමිණෙන පාසල් දරුදැරියන් 475කට අධික පිරිසකට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසැල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම මානුෂීය මෙහෙවර පුළුල් කිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දැක්වූ ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවෝත්පාදන අධ්‍යක්ෂ, ප්‍රවීන් ඥානම් මහතා පවසා සිටියේ, “මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, මේ වනවිට ඉතා කෙටි කලක් තුල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති ළමා මන්දපෝෂණ තත්ත්වයට අපට හැකි පමණින් පිළියමක් යෙදීමයි. වේගයෙන් හිස ඔසවන ළමා මන්දපෝෂණය මැඩලීමට කිසිදු පියවරක් නොගතහොත්, අපගේ අනාගත පරම්පරාවේ බොහෝ දරුවන් මානසික හා කායික සංවර්ධනය ඌනතාවන් සහ ඒ ආශ්‍රිත රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ අතිවිශාලයි. තවද, මෙම පාසැල් දිවා ආහාර වැඩසටහනින් දරුවන්ගේ මූලික පෝෂණ අවශ්‍යතාවයන් පිරිමැසීම සිදුකෙරෙන විට, වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින දෙමව්පියන් තම දරුවන් පාසල් යැවීමට ඇති නැඹුරුව වැඩිවෙනු ඇති අතරම, එමඟින් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවේශය ද වැඩිවෙනු ඇති.”



ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන හරහා මොණරාගල පාසල් 4 ක සිසුන් 179 දෙනෙකුට සමබර දිවා ආහාර වේලක් ලබාදේ

මෙම වැඩසටහනින් ලබාදෙන දෛනික ආහාර වේල, වැඩෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින්, සියලුම ප්‍රධාන ආහාර ඛාණ්ඩ, ධාන්‍ය වර්ග, නැවුම් කිරි නිෂ්පාදනයක් සහ ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි පලතුරු වර්ගයකින් ද සමන්විත වන සේ සකසනු ලබයි. තවද, සිසුන්ට මෙම සෞඛ්‍ය සම්පන්න දිවා ආහාරය නියමාකාරයෙන් අඛණ්ඩව සැපයීම සහ දරුවන්ගේ වර්ධන අවශ්‍යතාවන් එමඟින් සම්පූර්ණ කරවීම තහවුරු කිරීම උදෙසා, එක් එක් පාසලේ විදුහල්පති සහ ගුරුවර-මව්පියන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක පරීක්ෂාව යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පරිපාලන සහාය ඇතිව ක්‍රියාත්මක වන පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් යොදවා ඇත.



දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ටෝකියෝ සිමෙන්ති “සුපෝෂිත දැයක්” පාසැල් දිවා ආහාර වැඩසටහනින් ලබාදෙයි

ටෝකියෝ සිමෙන්ති සමාගමේ සුපෝෂිත දැයක් වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් පාසල් බලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කාර්යභාරයක් මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඉටු කරන ලදී. ඒ ඒ පාසැලේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුවරුන්ගේ පරීක්ෂාව යටතේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින දෙමව්පිය කණ්ඩායම් අතින් දරුවන්ගේ දෛනික ආහාර පිළියෙළ කෙරෙන අතර, විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව තහවුරු කරනුවස්, ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිතිපතා පාසල්වලට පැමිණ වැඩසටහන අධීක්ෂණය කරනු ලබයි. ආහාර පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුකිරීමට හැකිවන පරිදි, සෑම පාසලකම මුළුතැන්ගෙය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික මුළුතැන්ගේ උපකරණ සහ පහසුකම් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සපයාදී ඇත.



ස්වේච්ඡා දෙමව්පිය කණ්ඩායම් විසින් ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ තම දරුවන්ගේ ආහාර වේල් පිළියෙළ කරනු ලබයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම “සුපෝෂිත දැයක්” වැඩසටහන යනු, අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් වයසේ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය පිටුබලයක් ලෙස ඔවුන් පාසලට පැමිණීම දිරිගැන්වීම ඉලක්ක කරගත් දූරදර්ශී ව්‍යාපෘතියකි. එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම පිණිස පාසල තුලදී සෞඛ්‍ය සම්පන්න දිවා ආහාර වේලක් ලබාදීමේ වැදගත්කම නිවැරදිව හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිර්මාතෘ, දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් විසින් එතුමන් සභාපතීත්වය ඉසිලූ සමයේ පටන් මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෑත වකවානුවේ මෙම වැඩසටහන පුළුල් කිරීමට සමාගම තීරණය කළේ, යුනිසෙෆ් සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක් විසින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම, විශේෂයෙන් අඩු ආදායම්ලාභී කොටස්වල ළමුන් අතර, උග්‍රලෙස පැතීරී යන ළමා මන්දපෝෂණය සහ වර්ධන ඌනතා ඉහළ යාමේ ප්‍රවනතාවය පිළිබඳ අනතුරු හැඟවීම් කර ඇති වටපිටාවකය. දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන ආහාර උද්ධමනයට එරෙහිව නොනවතින ජීවන අරගලයක යෙදෙමින්, තම දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීමට දෛනික සටනක යෙදී සිටින මවුපියන්ගේ හිසමත පැටවී ඇති වගකීම යම් පමණකින් සැහැල්ලු කිරීමට ප්‍රායෝගික විසඳුමක් ‘සුපෝෂිත දැයක්’ පාසල් පෝෂණ වැඩසටහන මඟින් ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිලාශයයි.

අප රටේ ජන ජීවිත නඟාසිටුවීම උදෙසා දියත් කරන ලද සුවිශේෂී සමාජ සුභසාදන වැඩසටහන් අතර ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” ව්‍යාපෘතිය ප්‍රමුඛ තැනක් ගනී. සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස සමාජයට ඉටුවිය යුතු යුතුකම ඉටුකිරීමට හෘදයාංගමව ඉදිරිපත්ව සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කිහිපයකට සිය ශක්තිය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, ඒ හරහා අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ දැක්ම සාක්ෂාත් කරවීම සමාගමේ අරමුණයි.