ටෝකියෝ සිමෙන්ති සමූහය සහ පොලිස් දෙපාර්තමේන්තුව හරිතවත් දේශයක් ගොඩනැංවීමට එක්වෙයි

ටෝකියෝ සිමෙන්ති සමූහය සහ පොලිස් දෙපාර්තමේන්තුව හරිතවත් දේශයක් ගොඩනැංවීමට එක්වෙයි

උඩුදුම්බර සහ මිනිපේ මහවැලි ජලපෝෂක ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහන්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ ටෝකියෝ සිමෙන්ති සමූහය එකමුතුවෙන් පසුගියදා හසලක පොලිස් බල ප්‍රදේශයට අයත් මිනිපේ, හදඟනාව සහ උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයේ මීදුම්ගම යන ප්‍රදේශවල සාර්ථක රුක් රෝපණ වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී. ප්‍රදේශයේ සියළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල නිලධාරීන්, ප්‍රාදේශීය ගොවි-ප්‍රජා සංවිධාන සහ පාසල් සිසුන් ඇතුළු 600කට අධික පිරිසකගේ සහභාගීත්වය ඇතිව ඉහත මහවැලි ජල පෝෂක ප්‍රදේශවල කුඹුක්, කොස්, දඹ, ඉඟිනි, ලාඕලු, අඹ, සියඹලා, බුලු සහ මී ආදී විවිධ දේශීය ශාක විශේෂවලට අයත් පැළ 7000කට අධික ගණනක් මෙමඟින් සිටුවනු ලැබිනි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මගපෙන්වීම යටතේ හසලක සහ උඩුදුම්බර පොලිස් ස්ථානවලට අනුයුක්ත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල මෙම රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කිරීමේ මූලිකත්වය ගත් අතර, ඒ ඒ ප්‍රදේශයන්හි මහජනතාව, රාජ්‍ය ආයතන සහ පාසල් දරුවන්ගේ දායකත්වය ලබාගැනීමට එමඟින් මහඟු පිටිවහලක් සැලසිනි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන් පැවති මෙම පැළ සිටවීමේ වැඩසටහන් ද්විත්වය හරහා රටේ අනාගත පරපුර වෙනුවෙන් තිරසර, හරිතවත් අනාගතයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දක්වන දායකත්වය වඩාත් තහවුරු කෙරිනි.



මෙම රුක් රෝපණ වැඩසටහන් දෙකෙන් හසලක පොලිස් ස්ථානයේ නිලධාරීමහතුන් විසින් සංවිධානය කළ පළමු වැඩසටහන මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හදඟනාව මහවැලි ජල පෝෂක ප්‍රදේශයේ පැවැත්වුණු අතර ඊට, වන සංරක්ෂණ, වනජීවී සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සහ මිනිපේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ නියෝජිතයින් 100කට අධික පිරිසක් සහභාගීව සිටියහ. හදඟනාව මහා විද්‍යාලය සහ මොරයාය මහා විද්‍යාලයේ සිසුන් 200කගේ ද සහභාගිත්වය ඇතිව සිදුකළ මෙම වැඩසටහනේදී දේශීය රුක් පැළ 6100ක් මහවැලි ගංගා රක්ෂිතය ආශ්‍රිතව රෝපණය කෙරිණි.

උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිලධාරීමහතුන් විසින් සංවිධානය කළ මෙහි දෙවන වැඩසටහන උඩුදුම්බර මීදුම්ගම මහවැලි ගංගා පෝෂක ප්‍රදේශයේ පැවැත්වුණු අතර, ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හුන්නස්ගිරිය අඩවි වන කාර්‍යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු 200කට අධික පිරිසක් සහභාගීව සිටියහ. මීට අමතරව, උඩුදුම්බර ජාතික පාසලේ සිසු සිසුවියන් සියයකට අධික පිරිසක් ද මෙදින පැවති රුක් රෝපණ වැඩසටහනට සහභාගි වූහ.



මෙම වන රෝපණ ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම සහතික කරනු වස් ප්‍රාදේශීය ගොවි ප්‍රජාව සහ පාසල් දරුවන්ගේ සහාය ලබා ගැනීමත්, අනාගත පරපුර වෙනුවෙන් ප්‍රතිලාභ සමූහයක් ලබා දෙන අපේ ගොවි සංස්කෘතිය හා බැඳුනු ස්වදේශික රුක්ෂලතා වලින් සමන්විත වන තීරයක් නිර්මාණය කිරීමත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවන් වන අතර, එමඟින් සෑම දේශගුණික කලාපයකම ස්වාභාවික ජෛව විවිධත්වය තිරසාර ලෙස තහවුරු කිරීම සමාගමේ දිගුකාලීන අභිලාශයයි. මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවල අවියෝජනීය කොටසක් බවට පත්වන තෙක් මෙම රුක්ෂලතා තීරය අනාගත පරම්පරාවන් වෙනුවෙන් රැකබලා ගැනීම ව්‍යාපෘතියට සහභාගී වූ ප්‍රජාමූල කණ්ඩායම් විසින් සිදු කරනු දැකීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි.



ශ්‍රී ලංකාවේ සීඝ්‍රලෙස අඩුවෙමින් පවතින වන ගහනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ ඇතිව ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දේශීය ශාඛ පැළ තවාන් 2ක්; පළමුවැන්න ත්‍රිකුණාමලය කර්මාන්ත ශාලාවේ සහ අනෙක මහියංගන බලාගාර පරිශ්‍රයේ 2017 වසරේ ස්ථාපිත කිරීමත් සමඟම මෙම දූරදර්ශී තිරසාර ව්‍යාපෘතිය දියත් කෙරිනි. මෙම වන රෝපණ පැල තවාන් මගින්, රටේ අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින්, කුඹුක්, කරඳ, මී සහ ඉඟිනි ඇතුළු ඖෂධීය වටිනාකමින් යුත්, රටේ ඒ ඒ දේශගුණික කලාපයන්ට ගැලපෙන ස්වදේශික ශාඛ පැළ ප්‍රචාරණය කිරීම සිදුකරයි. එමඟින් වාර්ෂිකව දේශීය ශාඛ 10,000ක් නිපදවීමේ හැකියාව පවතින අතර, එසේ ප්‍රචාරණය කරනු ලබන පැළ විවිධ පරිසර සංරක්ෂණ සංවිධාන විසින් කරනු ලබන ඉල්ලීම් අනුව දීප ව්‍යාප්ත රුක් රෝපණ ව්‍යාපෘති සඳහා නොමිලේ ලබාදෙනු ලැබේ. එවන් පසුබිමක් යටතේ, මහවැලි ගංගා පෝෂක ප්‍රදේශ සං‍රක්ෂණය උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වන්නට ලැබීම, ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම ජාතික කර්තව්‍යය වඩාත් පුළුල් කිරීමට ලැබුනු මහඟු අවස්ථාවකි.

වන රෝපණ පැල තවාන් හරහා දේශීය රුක්ෂලතා ප්‍රචාරණයට අමතරව තවත් පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය සහ දිවයින අවට මුහුදු තීරයේ කොරල් පර සංරක්ෂණය මින් ප්‍රමුඛතම වේ. පරිසර සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙම වැඩසටහන් මගින්, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.