ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ විෂය පථය පුළුල් කිරීමේ අරමුණින් කොරල්පර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සහ සැන්ඩි බේ මුහුදු තීරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නැගෙනහිර විධාන කිමිදුම් සහ ගැලවීමේ ඒකකයේ දී 2022 සැප්තැම්බර් 13 සහ 14 සාර්ථකව පවත්වන ලදී.
ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩමුළුව, ටෝකියෝ සිමෙන්ති කොරල්පර සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන Blue Resources Trust (BRT) සහ Ocean Resources Conservation Association (ORCA) ට අනුයුක්ත සුප්‍රසිද්ධ සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ කොරල් සංරක්ෂණ විශේෂඥයින් විසින් මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකයට අනුයුක්ත නිලධාරීන් දසදෙනෙකු සහ නාවිකයින් හතළිස් දෙනෙකු මෙම වැඩමුළුවට සහභාගී වූ අතර, මෙහිදී කොරල් පරිසර පද්ධති කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක කරුණු ආවරණය කරන ලදී. කොරල් විශේෂ සහ ගල්පර ආශ්රිත මත්ස්‍ය විශේෂ හඳුනාගැනීම, කොරල්පර සමීක්ෂණ ක්‍රම සහ පසු ආරක්ෂණ ක්‍රියා පටිපාටි ඇතුළු ප්‍රායෝගික සැසිවාරයන් සැන්ඩි බේ මුහුදු තීරයේ ස්ථාපනය කරඇති කොරල් තවානේදී පවත්වන ලදී.
ස්වාභාවික හේතූන් සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් හානියට පත්වීමේ තර්ජනයට මුහුණපා ඇති මෙම වටිනා ජෛව පරිසර පද්ධතිය රැකගැනීම උදෙසා, කොරල්පර සහ ඒ ආශ්රිත සමුද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරයි. Blue Resources Trust (BRT) සහ Ocean Resources Conservation Association (ORCA) යන කොටස්කරුවන් එකමුතුවෙන් ක්‍රියාත්මක, ටෝකියෝ සිමෙන්ති සමූහයේ කොරල්පර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියේ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට මහඟු දායකත්වයක් ලබාදෙයි. ප්රමිතිකරණයේදී ඉවතලන කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණයෙන් සාදන, සිදුරු සහිත Reef Ball සැකිලි කොරල් වර්ධනයට කෘත්‍රිම උපස්තරයක් ලෙස ගාල්ල, ත්‍රිකුණාමලය, පාසිකුඩා, කායන්කේනි, ලන්දේසි බොක්ක සහ යාපනය වෙරළ තීරයේ මුහුදු පතුලේ තැන්පත් කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරේ.
මීට පෙර නාවික හමුදා කොරල්පර සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් කෘත්‍රිම කොන්ක්‍රීට් Reef Ball සැකිලි මත පැලකරන ලද කොරල් මේ වන විට සාර්ථකව වර්ධනය වෙමින් පවතී. ඉදිරියේදී දේශීය සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය නංවාලීමේ අරමුණින් දේශීය හා විදේශීය කිමිදුම්කරුවන්ට මෙම ස්ථාන ආශ්‍රිතව විනෝදාත්මක කිමිදුම් කටයුතුවල නිරත වීමට අවස්ථා විවෘත කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.
කොරල්පර සංරක්ෂණයට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. එවන් තවත් ව්‍යාපෘතියක් නම්, සමාගම විසින් නැවතත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව සිදුකරන කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනයි. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින් ජීවමාන වන අතරම, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.