ටෝකියෝ සිමෙන්ති සහ ORCA එකමුතුවෙන් සමුද්‍ර උද්‍යාන භාර වනජීවී නිලධාරීන්ට කොරල්පර කළමනාකරණ වැඩමුළුවක්

ටෝකියෝ සිමෙන්ති සහ ORCA එකමුතුවෙන් සමුද්‍ර උද්‍යාන භාර වනජීවී නිලධාරීන්ට කොරල්පර කළමනාකරණ වැඩමුළුවක්

ටෝකියෝ සිමෙන්ති සමූහය සහ සාගර සම්පත් සංරක්ෂණ සංවිධානය (ORCA) සංවිධානය කරන ලද කොරල්පර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ දින 2 ක පුහුණු වැඩමුළුවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) සමුද්‍ර උද්‍යාන නිලධාරීන් සහ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය 26 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නොබෝදා පැවත්විනි.

හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයේ පැවති මෙම වැඩමුළුව, ටෝකියෝ සිමෙන්ති සමූහයේ කොරල්පර සංරක්ෂණ වැඩසටහනේ හවුල්කරුවන් වන Blue Resources Trust (BRT) සහ Ocean Resources Conservation Association (ORCA) ට අනුබද්ධ කීර්තිමත් සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ කොරල් සංරක්ෂණ විශේෂඥයින් විසින් පවත්වන ලද පුහුණු සැසිවාර කිහිපයකින් සමන්විත විය. සැසිවාරයෙන් අනතුරුව හික්කඩුව ජාතික සමුද්‍ර උද්‍යානයේ ක්ෂේත්‍ර snorkel කිමිදීම සහ කොරල්පර සමීක්ෂණය පිළිබඳ ශිල්පීය පුහුණුවක් ද පැවැත්විණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, සමුද්‍ර ජීව විද්‍යාඥ සහ BRT හි සමනිර්මාතෘ නිශාන් පෙරේරා, කාටිලේජ මසුන් පිළිබඳ කීර්තිමත් විද්‍යාඥ, BRT සමනිර්මාතෘ සහ එහිම ධීවර ප්‍රතිපත්ති වැඩසටහන් අධ්‍යක්ෂ ඩැනියෙල් ප්‍රනාන්දු සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණ සංවිධානයේ ප්‍රධාන උපදේශක සහ ප්‍රවීන කොරල් සංරක්ෂණ විශේෂඥ ප්‍රසන්න වීරක්කොඩි යන විද්වත් මණ්ඩලය මෙම සැසියේදී තම විෂය දැනුම සහ සාගර සම්පත් සංරක්ෂණ අත්දැකීම් බෙදාගත්හ.





කොරල් විශේෂ සහ ගල්පර මත්ස්‍ය විශේෂ හඳුනාගැනීම සහ කළමනාකරණය පිළිබඳ පුහුණුව කීර්තිමත් සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ කොරල් සංරක්ෂණ විශේෂඥයින් විසින් පවත්වන ලදී.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ අනුග්‍රහය ඇතිව මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර අංශයේ ප්‍රධානී අසංක ගුණවර්ධන මහතා මූලිකත්වය ගනු ලැබීය. ටෝකියෝ සිමෙන්ති සමූහයේ කොරල්පර ප්‍රතිසංස්කරණය සහ සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහනේ වැඩිදුර ව්‍යාප්තිය තහවුරු කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම මෙහි අරමුණ විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින අවට සමුද්‍ර උද්‍යානවල කොරල්පර සංරක්ෂණය සහ කළමනාකරණයට සක්‍රීයව සම්බන්ධ වීමට සමුද්‍ර උද්‍යාන නිලධාරීන්ට මෙම පුහුණුව මඟින් හැකියාව ලැබේ.





වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර උද්‍යාන නිලධාරීන් සහ ප්‍රාදේශීය කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය සඳහා ක්ෂේත්‍ර ස්නෝකල් කිමිදුම් සහ ගල්පර සමීක්ෂණ ශිල්පීය පුහුණුවක් හික්කඩුව ජාතික සමුද්‍ර උද්‍යානයේ දී පැවැත්විණි.

දශකයකට වැඩි කාලයක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය කොරල්පර සංරක්ෂණය උදෙසා විශාල දායකත්වයක් ලබාදෙන අතර, ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති කොරල්පර බාධකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් හවුල්කාර ආයතන කිහිපයක් සමඟ එක්ව සිය සම්පත් දායකත්වය ලබාදෙයි. කොරල්පර සංරක්ෂණයට අමතරව, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. සමාගම විසින් සිදු කරන කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහන තවත් එවන් ව්‍යාපෘතියකි. එමගින් අනුපමේය පාරිසරික වටිනාකමක් උසුලන නමුත් දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන ශාඛ නැවත වගා කිරීම සිදු කෙරේ. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින් ජීවමාන වන අතරම, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.