

මේ යටතේ දකුණු පළාතේ සහ උතුරේ පාසල් දරුවන් වෙනුවෙන් ගුණ ජය සතුට පදනම විසින් විශේෂ ක්‍රිකට් පුහුණු වැඩමුළු සංවිධානය කරනු ලබන අතර, තෝරාගත් දක්ෂතා පිරි දරුවන්ට ප්‍රවීණ පුහුණුකරුවන් යටතේ සිය හැකියාවන් මුවහත් කරගැනීමට පහසුකම් ද සපයයි. මෙම ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ජයකෙහෙළි නංවා ඇති පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගණනක් මේ වන විට බිහි කර ඇත.

ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්ෂ, ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු අනුර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නයේ සහතිකලත් පුහුණුකරුවන් මඩුල්ලක් විසින් මෙම පුහුණු කඳවුරු පවත්වනු ලබයි. එම පදනම විසින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි Surrey Oval ක්‍රීඩාංගනය ආශ්‍රිතව ක්‍රිකට් පුහුණු සැසිවාර පැවැත්වේ.

දකුණු පළාත් ක්‍රිකට් කඳවුරේ ප්‍රගතිය අනුව යමින්, මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවර ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, සහ වවුනියාව යන ප්‍රදේශවල පාසැල් දරුවන් සඳහා යාපනය නගරය කේන්ද්‍ර කරගත් මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ අසමසම ජීව ගුණය ශක්තිමත් අඩිතාලමක් කරගනිමින් දක්ෂතාවන් තුලින් සිය අනාගතය දීප්තිමත් කරගැනීමට ගම්බද දරුවන්ට මෙම ව්‍යාපෘතිය හරහා දොරගුළු විවර කරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි.