පරිසර අමාත්‍යාංශය හා ටෝකියෝ සිමෙන්ති සමූහයේ එකමුතුවෙන් ‘ඉවුර රකින පවුර’ සමාරම්භක උත්සවය මනම්පිටියේදී

පරිසර අමාත්‍යාංශය හා ටෝකියෝ සිමෙන්ති සමූහයේ එකමුතුවෙන් ‘ඉවුර රකින පවුර’ සමාරම්භක උත්සවය මනම්පිටියේදී

පරිසර අමාත්‍යාංශය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ එකමුතුවෙන් ක්‍රියාත්මක මහවැලි ගංගා ද්‍රෝණියේ කුඹුක් සහ මී පැළ සිටුවීමේ ‘ඉවුර රකින පවුර’ ජාතික වැඩසටහනේ සමාරම්භය නොබෝදා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුර අසල සනිටුහන්කරන ලදී. පරිසර අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමන්ගේ සුරතින් පළමු කුඹුක් පැළය රෝපණය කරමින් දියත් කෙරුණු මෙම උත්සවය, රජයේ සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු ප්‍රදේශවාසී නියෝජිතයින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. රජයේ පරිසර සං‍රක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇතුලත් පරිදි රටේ වනාන්තර ආවරණයට අළුතින් ගස් මිලියන 2 ක් එකතුකරවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ ක්‍රියාන්විතයේ දිගුවක් වන මෙම ‘ඉවුර රකින පවුර’ වැඩසටහනෙහි දූරදර්ශී අරමුණ වන්නේ සංවේදී ගංගා රක්ෂිතයන් වත්මන් සහ අනාගත පරම්පරාවන් උදෙසා තිරසාරව කළමනාකරණය කිරීමයි. කිලෝමීටර් 335ක් දිග මහවැලි ගංගාවේ මනස්කාන්ත ඉවුරු දෙපස ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රහය ඇතිව වසර 3ක් ඇතුලත කුඹුක් සහ මී පැළ 168,000ක් සිටුවීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික තිරසාරත්ව කළමනාකරු, සාලින්ද කඳපොල මහතා සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින්, පොළොන්නරුව මද්දුම ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ඒ. ජී. මද්දුමබණ්ඩාර මහතා විසින්, ඉවුර රකින පවුර ගොඩනැංවීම සඳහා පළමු කුඹුක් පැළ කාණ්ඩය ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් වෙත සංකේතාත්මකව පිළිගැන්වීම මෙහිදී සිදුකළහ. තවද මහවැලි ගඟේ සංවේදී ජල පෝෂක ප්‍රදේශවල තිරසාර කළමනාකරණය උදෙසා ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන, පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රජා නියෝජිතයින් කිහිප දෙනෙකු වෙත ගරු ඇමතිතුමන් විසින් කුඹුක් සහ මී පැළ ලබාදීමද මෙම සමාරම්භක උත්සවයේදී සිදු කෙරිණි. පරිසර අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමන් සමඟ ටෝකියෝ සිමෙන්ති සමාගමේ ආයතනික තිරසාරත්ව කළමනාකාර සාලින්ද කඳපොල මහතා සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින් පොළොන්නරුව මද්දුම ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ඒ. ජී. මද්දුමබණ්ඩාර මහතා “ඉවුර රකින පවුර” වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී වසර ගණනාවක පටන්, ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් මගින්, රටේ අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින්, කුඹුක්, කරඳ, මී සහ ඉඟිනි වැනි ඖෂධීය වටිනාකමින් යුත්, රටේ විවිධ දේශගුණික කලාපයන්ට ගැලපෙන ස්වදේශික වනාන්තර පැළ ප්‍රචාරණය කිරීම සිදුකරයි. විවිධ ප්‍රජා සංවිධාන හා රාජ්‍ය ආයතන විසින් මෙහෙයවන, මහවැලි කලාප ඇතුළු දිවයින පුරා පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහන් සඳහා මෙම පැල ලබාදෙයි. එබැවින්, මහවැලි ගංගා ද්‍රෝණිය සං‍රක්ෂණය අරමුණු කරගත්, ‘ඉවුර රකින පවුර’ ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීමෙන් පමණක් නොනැවතී, ඒ සඳහා අවශ්‍ය කුඹුක් සහ මී පැළ ද සපයාදෙමින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්වන්නට ලැබීම, ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම ජාතික කර්තව්‍යය වඩාත් පුළුල් කිරීමට ලැබුනු මහඟු අවස්ථාවකි. පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් විසින් ප්‍රජා නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත කුඹුක් සහ මී පැළ සංකේතාත්මකව බෙදා දෙමින් වන රෝපණ පැල තවාන් හරහා දේශීය රුක්ෂලතා ප්‍රචාරණයට අමතරව තවත් පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය සහ දිවයින අවට මුහුදු තීරයේ කොරල් පර සංරක්ෂණය මින් ප්‍රමුඛතම වේ. පරිසර සංරක්ෂණය කෙරෙහි සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙම වැඩසටහන් මගින්, අප රට, අපේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම ටෝකියෝ සිමෙන්ති සමූහය තම ව්‍යාපාරික දැක්මේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව ප්‍රකට කරවයි. ඡායාරූපය: පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් විසින් ‘ඉවුර රකින පවුර’ ගොඩනැංවීම සඳහා පළමු කුඹුක් පැළය මනම්පිටියේ මහවැලි ගං ඉවුරේ රෝපණය කළ අවස්ථාව