A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ NVQ සහතිකලාභී 10වන කණ්ඩායම පිටවයයි

A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ NVQ සහතිකලාභී 10වන කණ්ඩායම පිටවයයි

ශ්‍රී ලංකා යුධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සෙබළුන් පිරිසක් පෙදරේරු ශිල්පයේ NVQ සහතික හිමිකරගනී.

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු වෘත්තිකයින් බිහිකිරීමේ අරමුණින් ස්ථාපිත, A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ 10වන සහතික ප්‍රදානෝත්සවය නොබෝදා දඹුල්ලේදී පැවැත්විනි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති අතුල ගලගොඩ මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභගී වූ මෙම උත්සවයේදී, කලාඔය – ශ්‍රී ලංකා යුධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට අනුයුක්ත සෙබළුන් පිරිසක් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය හිමිකර ගත්හ.

උත්සවයේ අනෙකුත් ගෞරවනීය අමුත්තන් වශයෙන් කලාඔය ශ්‍රී ලංකා යුධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් W.M.J.R.K. සේනාරත්න මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) මාතලේ දිස්ත්‍රික් කළමනාකාර ජනක රණරාජා මහතා ඇතුළු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ උසස් නිලධාරි මහත්වරු සහභාගිව සිටියහ.



කලාඔය ශ්‍රී ලංකා යුධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් W.M.J.R.K. සේනාරත්න මහතා සහතික ප්‍රදානය කරමින්.

උත්සව සභාව ඇමතූ ටෝකියෝ සිමෙන්ති සමාගමේ සියලු ඉදිකිරීම් කාර්මික වෘත්තීය සංවර්ධන සහ පුහුණු වැඩසටහන් සඳහා මාර්ගෝපදේශකත්වය සපයන උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා, ලොවම පිළිගත් NVQ වෘත්තීය පුහුණු සහතිකයක් හිමිකරගැනීම, සිය වෘත්තීය මට්ටම වඩාත් ඉහළ තලයකට ඔසවා ගනිමින් අනාගතයේ උසස් ජීවන තලයකට ගමන් කිරීමට නව මංපෙත් සලසාගැනීමක් බව පැවසීය. එම සාධනීය අරමුණ සාක්ෂාත් කරගනු පිණිස, වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණි මේසන් වෘත්තිකයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයෙන් සුදුසුකම් ලබා පිටවගොස් ඇති බවද ගුණරත්න මහතා මෙහිදී පැවසීය.



ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති අතුල ගලගොඩ මහතා සහතික ප්‍රදානය කරමින්.

දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරය සිය සමාජ සත්කාර සේවයට ඇති කැපවීම පෙන්වන එක් ප්‍රමුඛ සන්ධිස්ථානයකි. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය, මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහ වෘත්තීය මට්ටමෙන් සපිරි පෙදරේරු ශිල්පීන් බිහිකිරීමේ හෘදයාංගම කර්තව්‍යය ඉටුකිරීමට A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨය හරහා උරදීම ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ අරමුණයි.