ත්‍රිකුණාමල වෙරළතීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනයට ටෝකියෝ සිමෙන්ති සමාගම නිහඬ මෙහෙවරක

ත්‍රිකුණාමල වෙරළතීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනයට ටෝකියෝ සිමෙන්ති සමාගම නිහඬ මෙහෙවරක

පෙබරවාරි මස 2 වැනිදා සමරන්නට යෙදුනු ලෝක තෙත්බිම් දිනය, අපේ පෘථිවිය සහ ඒ මත ජීවත්වන මිලියන ගණනාවක් මිනිසුන් ඇතුළු ජීවින්ට කඩොලාන වනාන්තරවල ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට අපට උදාවූ මහඟු අවස්ථාවකි. කඩොලාන වනාහි, මිහිපිට ඇති තෙත්බිම් වර්ග අතරින්, විවිධ ශාක හා සත්ව විශේෂ දහස් ගණනකට වාසස්ථාන සපයන ජෛව විවිධත්වයෙන් පොහොසත් ඉතා වැදගත් තෙත්බිම් කොට්ඨාශයකි.

කඩොලාන වනාන්තර, සංකීර්ණ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති වලින් සමන්විත වන අතර, ජීවින් රැසකට වාසස්ථාන සපයන එකිනෙකට බැඳී ඇති ශාඛ ජාලයකින් සෑදී ඇත. කඩොලාන ගස් වැඩෙන්නේ, ගංගා මුහුදට එක්වන මෝය අසල ඇති අද්විතීය ඩෙල්ටා පරිසරය ආශ්‍රිතව පමණි. මිරිදිය ජලය සමඟ අධික ලවණතාව සහිත මුහුදු ජලය මිශ්‍ර, නිරතුරුවම වඩදිය-බාදිය ඇතිවන වටපිටාවක, ඔක්සිජන් සාන්ද්‍රණය අවම ගොහොරු පරිසරයට අනුවර්තනය වුනු, විශේෂ ශාඛ විශේෂ වලින් සැදුනු පරිසර පද්ධතිය කඩොලාන ලෙස හැඳින්වේ. ඒවායේ කඳන් සහ අතු, සුළං බාධක ලෙස ක්‍රියා කරන අතර, ඒවායේ එකට පැටළුණු, විශේෂයෙන් අනුවර්තනය වුනු මුල් ජාලය විසින් මුහුදු රැලිවල ඛාදන බලය අඩු කරයි. තවද, එමගින් ගංගා ජලයේ ගසාගෙන එන පස් සහ ලවණ අවසාදිතයන් මුහුදට කෙලින්ම සේදී යාම වළක්වන අතර, මෙසේ රොන්මඩ තැන්පත්වීමේ පාරිසරික සංසිද්ධිය කාලාන්තරයක් පුරා සිදුවීමෙන් නව ගොඩබිම් ඇති වන අතර, එබැවින් කඩොලාන පද්ධතීන් ‘ගොඩබිම් තනන්නන්’ ලෙසින් ද හැඳින්වේ.



කඩොලාන වනාන්තරයෙන් සැදුනු බාධකය ශක්තිමත්ව පැවති ස්ථානවල, උදම් රළ පහරින් ජීවිත හා දේපල ආරක්ෂා වුනු අයුරු සුනාමි ව්‍යසනය ඇතිවූ අවස්ථාවේ අපි හොඳින්ම දුටුවෙමු. එය උදම් රළ පහරට එරෙහි පවුරක් ලෙස ක්‍රියා කළාක් මෙන්ම, නැවත රළපහර සමග මිනිසුන් සහ ගොඩනැගිලි සාගරයට ගසාගෙන යාම වළක්වාලීය. කඩොලාන වනාන්තර නිසා ගොඩබිම් හරහා හමන සුළං ප්‍රවාහය නියාමනය කෙරෙන අතර, එමඟින් ගොඩබිම උෂ්ණත්ව යාමනයට ද පිටිවහලක් සපයයි.

බොහෝ මත්ස්‍ය විශේෂ සිය ජීවන චක්‍රය ආරම්භ කරන්නේ, ඔවුන්ගේ වර්ධනයට හා ආරක්ෂාවට තෝතැන්නක් සපයන කඩොලාන පරිසර පද්ධතීන් ආශ්‍රිතව වීම ද ඒවායේ පාරිසරික වටිනාකම වැඩි කරවයි. කඩොලාන මුල් ජාලය මෙම මත්ස්‍යයින්ට කදිම අභිජනන භූමියක් සහ විලෝපිකයන්ගෙන් රැකවරණය ලබාදෙන අතර, දිරාපත්වන කොළ සහ රොන්මඩ පිරි ජලජ පරිසරය පෝෂ්‍යදායී ආහාර සැපයුමක් ලබාදෙයි. කඩොලාන වනාන්තර සිය ගණනක් සංක්‍රමණික පක්ෂීන් සඳහා මෙන්ම විවිධ උරගයින්, උභයජීවීන් සහ ක්ෂීරපායින් දහස් ගණනාවකට ද වාසස්ථාන සපයයි. මිනිසාගේ මෙන්ම පෘථිවිය මත බොහෝ ජීවීන්ගේ පැවැත්මට බලපාන ආහාර දාම රැසක් කඩොලාන තෙත්බිම් ජෛව පද්ධතිය මත රඳාපවතියි. මෙම අතිවිශේෂ තෙත්බිම් පරිසර පද්ධතිය මත යැපෙන දහස් ගණනක් ජීවීන් අතර, ධීවර හා සංචාරක ඇතුළු වාණිජ කටයුතු සඳහා කඩොලාන පරිසරය භාවිතා කරන වෙරළබඩ මිනිස් ප්‍රජාව ද වෙති.

බොහෝවිට අත්‍යවශ්‍ය සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙන්ම, සමහර විට නීති විරෝධී ආක්‍රමණය කිරීම් හේතුවෙන්, ඉතා සීග්‍රයෙන් විනාශවීමේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන මෙම සංකීර්ණ ජෛව පද්ධතීන්, තිරසාර කළමනාකරණයකට ලක් කිරීම, ගෝලීය උණුසුම්කරණය නිසා පෘථිවිය මත වෙසෙන සියලුම ජීවීන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. දිනෙන් දින ව්‍යාප්ත වන ජනගහනයේ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් භුමියේ ඉඩකඩ ලබාදීම සහ, දේශගුණික විපර්යාස නිසා ඇතිවන බහුවිධ පීඩාවන් අවම කරගැනීමේ උභතෝකෝටිකයට මුහුණ දී සිටින අප වැනි දූපත්වාසී රටවලට, කඩොලාන පරිසරය තිරසාරව සංරක්ෂණය කරගැනීමේ වැදගත්කම අති මහත්ය.

දැනට ඉතිරිව පවතින කඩොලාන කලාප ආරක්ෂා කිරීමට අප සෑම කෙනෙක්ම හැකි අයුරින් උත්සුක වීම ඉතා වැදගත් වන්නේද මේ නිසාවෙනි. නානාවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශයට ලක්වන කඩොලාන වනාන්තර ඝනත්වය අඩුවීමත් සමඟ, ඉතිරිව ඇති කඩොලාන කලාපවලට ඉහළ සංරක්ෂණ වටිනාකමක් ලබාදෙමින්, ඒවා නැවත ප්‍රතිස්ථාපනය කිරීම යුහුසුළුව සිදුකල යුතුය.

මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට ලක්ව පැවති, ත්‍රිකුණාමල චීන වරාය අවට කඩොලාන වනාන්තර පරිසරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට, ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරිපත් වූයේ, මෙම කාලීන මෙන්ම දූරදර්ශී අවශ්‍යතාවය සමාගමේ ආයතනික වගකීමේ කොටසක් බවට පත්කර ගනිමිනි. චීන වරායේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාව අවට ප්‍රදේශය සමාගමේ නිජභූමියයි. ඒ ප්‍රදේශයට ආවේණික කඩොලාන පරිසරය ත්‍රිකුණාමලයේ භූ දර්ශනයේ සුවිශේෂී අනන්‍යතාවයයි. කොඩ්ඩියාර් බොක්ක ආශ්‍රිත මෙම කඩොලාන පවුර, සුනාමි ව්‍යසනයෙන් එම ගොඩබිම් ප්‍රදේශ ආරක්ෂා කළ අතරම, සාගර ජීවීන් සඳහා අත්‍යවශ්‍ය අභිජනන භූමියක් සපයමින් ප්‍රදේශවාසීන් දහස් ගණනකගේ ජීවනෝපාය මාර්ගය වන ධීවර කර්මාන්තයේ පදනම ද වේ. නමුත්, ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් වූ කඩොලාන වනාන්තර බොහොමයක් යුද සමයේ ආරක්ෂක හේතූන් මත ඉවත් කිරීමට සිදුවිණි.

එසේ විනාශ වූ කඩොලාන වනගහනය නැවත සිටුවීමේ ව්‍යාපෘතියක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැඳගනිමින් 2012 දී ආරම්භ කරන ලදී. ප්‍රදේශයේ කඩොලාන ආවරණය පුළුල් කිරීම සඳහා දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියේ වැදගත් කාර්යභාරයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කරන අතර, උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ කඩොලාන නැවත සිටුවීමට ඔවුහු ක්‍රියාකාරීව සම්බන්ධ වේ. මෙම ව්‍යාපෘතියට ප්‍රදේශයේ ධීවර ප්‍රජාවන්ගේ සහභාගීත්වය ලබාගැනීම ද වැඩසටහනේ සාර්ථකත්වයට හේතුවී ඇත.

මෙම මෙහෙයුමේ ආරම්භය වූයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රය තුළ කඩොලාන පැල තවානක් ස්ථාපනය කිරීමෙනි. අප රටට ආවේණික ඒකදේශීය විශේෂ 7 කට අයත් කඩොලාන බීජ පැල 10,000 ක් මෙම තවාන තුළ පෝෂණය කෙරේ. මින් සමහර විශේෂ සාමාන්‍ය තත්වයන් යටතේ ව්‍යාප්ත කිරීම අතිශයින් දුෂ්කර වන අතර, සංරක්ෂණ විශේෂඥයන්ගේ මග පෙන්වීම යටතේ කොඩ්ඩියාර් බොක්ක වාසභූමියට ආවේණික වූ කඩොලාන විශේෂවල ස්වාභාවික සංයුතිය අනුව පැළ නැවත සිටුවීම සිදු කෙරේ. ව්‍යාපෘතිය ඉදිරියට යත්ම, වසර 4-5ක කාලයක් ඇතුලත විනාශ වූ කඩොලාන වනාන්තරයට පුනර්ජීවනයක් ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවුණු අතර ප්‍රථමයෙන් රෝපණය කරන ලද ගස් වලින් ස්වාභාවිකවම වැටෙන බීජ එකතු කර ප්‍රචාරණය කිරීමට අපට හැකි විය.

ටෝකියෝ සිමෙන්ති කම්හලට යාබද අක්කර 20 ක භූමි භාගයකින් ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය, ත්‍රිකුණාමල බොක්ක අවට විශාල ප්‍රදේශයක් ආවරණය කිරීම දක්වා ව්‍යාප්ත කිරීමට නාවික හමුදාවේ දායකත්වය නොමසුරුව ලැබිණි. ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා, කර්මාන්තශාලාව අවට වෙරළ තීරය වටා කඩොලාන පැල 17,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමෙන් ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. මීට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය සහ මන්නාරම වෙරළ තීරයේ කඩොලාන පැළ 60,000 කට අධික ප්‍රමාණයක් සිටුවීම මෙම ව්‍යාපෘතිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙසේ ත්‍රිකුණාමලයේ කඩොලාන ආවරණය ක්‍රමක්‍රමයෙන් පෙර පැවති සශ්‍රීකත්වයට ලඟාකරවීමෙන් ධෛර්යමත් වුනු ටෝකියෝ සිමෙන්ති සමාගම, වසරකට නව බීජ පැල 10,000ක් බැගින් තම තවාන් තුළ නඩත්තු කර නාවික හමුදාවේ සහයෝගය ඇතිව නැගෙනහිර සහ උතුරට ඔබ්බෙන් වෙරළ තීරයේ නැවත සිටුවීම සාර්ථකත්ව සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ඇතුළු, ටෝකියෝ සිමෙන්ති සමූහයේ තිරසාර ව්‍යාපෘති සියල්ල මෙහෙයවනු ලබන ආයතනික කළමනාකරු, සාලින්ද කඳපොල මහතා අපේ රටේ දැඩි තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතීන් සංරක්ෂණය කිරීමේ ප්‍රයත්නයට එක්වන ලෙස අනෙකුත් සමාගම්, පුද්ගලයින් සහ ප්‍රජා කණ්ඩායම් දිරිමත් කරයි. ඒ කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් සමග සිය අත්දැකීම් බෙදාගත් කඳපොල මහතා සඳහන් කළේ, කඩොලාන නැවත ප්‍රතිස්ථාපන වැඩසටහනක සාර්ථකත්වය රඳා පවත්නා පළමු සාධකය, නැවත පැළ සිටුවන භුමිය පෙර කඩොලාන වාසස්ථානයක් පැවති තෙත්බිමක් වීමයි. එහිදී වැදගත් වන්නේ, කලින් තිබූ කඩොලාන වාසභූමියේ ඉතිරි වූ පෝෂ්‍ය පදාර්ථ පසෙන් ඉවත්වීමට පෙර, නැවත සිටුවීමේ ක්‍රියාවලිය හැකිතරම් ඉක්මනින් සිදුකිරීමයි. කඩොලාන වර්ධනය සඳහා භූමියේ ස්වභාවික ජල බැස්ම සහ එහි ලවණතාව තීරණාත්මක සාර්ථක සාධක වන බැවින් එහි ස්වාභාවික ජල රටාවට බාධා නොකිරීම ඉතා වැදගත්. එමඟින් ළපටි පැළවලට නව පරිසරය තුළ වේගයෙන් වැඩීමට සහ අනුවර්තනය වීමට උපකාරී වේ. ස්වාභාවිකව වැටෙන බීජ වසර පුරා එකතු කර ගත හැකි වන පරිදි, අවුරුද්දේ විවිධ කාලවලදී ඵල දරන ප්‍රභේද, එම ප්‍රදේශයේ ස්වාභාවික ශාක සංයුතිය අනුව ප්‍රචාරණය කිරීම ද කඩොලාන ගහනය සමෘධිමත් වීමට ඉඩ සලසයි. තවද, වැඩුණු ගස් වල ව්‍යාප්තියට ප්‍රමාණවත් දුර පවත්වාගනිමින් පැල රෝපණය කිරීම ද කඩොලාන ගහනයේ සශ්‍රීකත්වයට අත්‍යවශ්‍ය වේ. කඳපොල මහතා පවසන පරිදි, මෙම කඩොලාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිටුපස ඇති වැදගත්ම සාධකය වන්නේ, අවසාන අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගමෙහි ඇති නොසැලෙන කැපවීමයි.

නැගෙනහිර වෙරළ තීරයේ වටිනා පාරිසරික පද්ධතියක් වන කඩොලාන වනගහනය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් දියත් කෙරුණු නිහඬ මෙහෙයුමකින්, අති සාර්ථක ප්‍රතිපල රටට සහ අපගේ අනාගත පරපුර වෙනුවෙන් හිමිකර දීමට හැකි වීම ටෝකියෝ සිමෙන්ති සමාගමට මහත් ආඩම්බරයට කරුණකි. ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ සාර්ථකත්වය, මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය මෙන්ම දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා වන සටන දිගටම කරගෙන යාමට සමාගමට දිරිගන්වයි. මෙම වැඩසටහනට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. එවන් තවත් ව්‍යාපෘතියක් නම්, සමාගම විසින් සිදු කරන කොරල් පර සංරක්ෂණ වැඩසටහනයි. මේ මගින් නැගෙනහිර සිට යාපනය දක්වා වූ මුහුදු තීරයේ, විද්‍යාත්මක පදනමක් මත පිහිටි වඩාත් ස්ථිරසාර මෙන්ම ප්‍රයෝගික කොරල් සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින් ජීවමාන වන අතරම, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.