සංගීතයෙන් සන්හිඳියාව ගොඩනංවන The Music Project සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගනී

සංගීතයෙන් සන්හිඳියාව ගොඩනංවන The Music Project සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගනී

පාසල් දරුවන්ට සිය සංගීතමය හැකියාවෙන් ලොව ජයගන්නට මග පෙන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගත්බව සතුටින් දන්වා සිටියි. මෙමගින් 2017 වසර තුලදී මුලතිව් දිස්ත්‍රික්කයේ යෝහපුරම් මහා විද්‍යාලයේ සහ තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සංගීතය හදාරන සිසුදරුවන් 140 ක් සහ කුරුණෑගල සිරි ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 50ක් වෙනුවෙන් The Music Project මගින් පවත්වනු ලබන සංගීත පුහුණු වැඩමුළු සඳහා අනුග්‍රාහක දායකත්වය ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගම විසින් දරනු ඇත. උතුරේ සහ දකුණේ දරුවන්ගේ සංගීතමය හැකියාව ඔප් නංවා එතුලින් සාමුහිකත්වයේ සහ සන්හිඳියාවේ පාලමක් ගොඩ නැංවීම මෙම එකමුතුවේ අරමුණයි.

2010 වසරේ දියත් කෙරුණු, ද මියුසික් ප්‍රොජෙක්ට් යනු ලංකාවේ අගනුවරට වඩාත් දුරින් පිහිටි අඩු පහසුකම්ලත් පාසල්වල ඉගෙනීම ලබන දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබාදෙමින්, එතුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සපයන ලාභය අරමුණ කරනොගත් ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම වසර තිහක යුද්ධය නිසා පීඩාවට පත් උතුරේ සහ නැගෙනහිර පළාතේ සහ දකුණේ අඩු පහසුකම් ලබන පළාත්වල තෝරාගත් පාසල් කිහිපයක දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා විශ්ව භාෂාව වන සංගීතය මෙවලමක් ලෙස යොදාගනිමින් අධ්‍යාපනික කඩඉම් වලින් ඔබ්බට ගිය වඩාත් දීප්තිමත් අනාගතයකට දොරටු විවර කිරීම The Music Project හි ප්‍රධානම අරමුණයි.

විෂය නිර්දේශයට පමණක් සීමා නොවී දරුවන් තුල වඩාත් ගැඹුරු ජීවන කුසලතා වර්ධනයට මග පෙන්වීම ද අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව සියල්ලන්ටම සැලකීමේ වටිනාකම අවබෝධකරදීම ද මෙම ව්‍යාපෘතියේ තවත් කාර්යභාරයකි. එක් සාමූහික අරමුණක් වෙනුවෙන් එකාවන්ව කැපවීම, අභියෝග ජයගැනීමට එකිනෙකා දිරිගැන්වීම, නිර්මාණශීලීත්වය මෙන්ම ආත්ම විශ්වාසය මත ගොඩනැගුණු ප්‍රෞඩත්වයක් සෑම දරුවෙක් තුලම ඇති කිරීම, ද මියුසික් ප්‍රොජෙක්ට් ව්‍යාපෘතියේ දැක්මයි.

වැඩසටහනට දායකවන උතුරෙත් දකුණේත් පාසැල් දරුවන්ගෙන් සැදුම්ලත් වාද්‍ය වෘන්දය, ද මියුසික් ප්‍රොජෙක්ට් හි එක් ප්‍රධාන ප්‍රතිඵලයකි. ව්‍යාපෘතියට පුර්ණකාලීනව සම්බන්ධ ස්වේච්ඡා ගුරුවරුන් සහ විදේශයන්ගෙන් මෙහි පැමිණෙන සංගීත ගුරුවරුන්ගේ සහය ඇතිව විශේෂ වැඩමුළු සහ පුහුණු සැසිවාර මේ වෙනුවෙන් පැවැත්වේ. දිවයිනේ විවිධ පලාත්වල ප්‍රේක්ෂකයන් සඳහා සහ විශේෂ අවස්ථාවන්හිදී පැවැත්වෙන සංගීත උළෙල වලදී මෙම දරුවන්ට සිය කුසලතා එලි දැක්වීමට මින් අවස්ථාව සැලසෙයි. ව්‍යාපෘතිය දියත්වන වන මල්ලාවි සහ මාවතගම පාසල් තුනේම වරින්වර පැවැත්වෙන ගෘහස්ථ පුහුණු සැසිවාර, මෙම පවුල් වල දෙමව්පියන්ට මුණගැසීමට අවස්ථාව සලසාදෙයි. මෙහිදී ගොඩනැගෙන සහෝදරත්වයේ බැඳීම් මෙම දරුවන්ගේ සංගීතමය චාරිකාවන්ට මහත්වූ රුකුලක් සපයයි.

ගොවිතැන සිය ජීවනෝපාය කරගත් විවිධ ජාති, ආගම්, සහ කුල වලට අයත් දෙමව්පියන්, ඒ කිසිදු භේදයකින් තොරව සිය දරුවන් තුල සංගීතයට ඇති ඇල්ම ඔපමට්ටම් කරවමින් ඔවුන්ගේ අනාගතය එයින් ආලෝකමත් වනු දැකීම අරමුණු කරගෙන මහත් දුෂ්කරතා මධ්‍යයේ වුවත්, ස්වකැමැත්තෙන් මෙම වැඩසටහනට සිය දරුවන් යොමු කරන්නේ මහත් උද්යෝගයෙනි. උදාහරණයක් වශයෙන්, වසර තිහක යුද්ධය නිසා දරුණු ලෙස පීඩාවට පත් මුලතිව්හි මල්ලාවි ප්‍රදේශයේ පිහිටි තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සෑම සිකුරාදාවකම පාසල පටන් ගැනීමට පෙර හිමිදිරියේ ඉතා අවම පහසුකම් යටතේ පැවැත්වෙන සංගීත පුහුණුවට එහි ඉගෙන ගන්නා දරුවන් 40දෙනෙකු සිය දෙමව්පියන් සමග පැමිණෙන්නේ බොහෝ බාධක සහ අගහිඟකම් අභිභවමිනි.

මිනිසුන්ගේ සිත් සුවපත් කරවා කැඩුණු බැඳීම් නැවත ගොඩනැංවීමට සංගීතය යොදාගැනීමේ අපේක්ෂාවෙන්, මෙරට සහ විදේශයන්හි වෙසෙන දානපතියන්ගේ පරිත්‍යාග සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන කිහිපයක අනුග්‍රාහක දායකත්වයෙන් ගොඩනැගුණු භාරකාර අරමුදලකින් The Music Project ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම වැඩසටහන සමග එක් වීමට ප්‍රධානතම සාධකය වන්නේ දරුවන්ට අනාගතය දීප්තිමත් කර ගැනීමට නැවුම් පිටිවහලක් මෙයින් ලබාදෙන බවට ඇති විශ්වාසයයි.

අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසඟ කොටසක් බවට පත්කරගෙන සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය මෙවන් දූරදර්ශී වැඩසටහන් රාශියකට සිය නිහඬ දායකත්වය සපයයි. විශේෂයෙන්ම හෙට දිනයේ රටේ අනාගතය බාරගන්නා නායකයින්ට සවිමත් පදනමක් සැපයීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් දරුවන් සඳහා පැවැත්වෙන Tokyo Super Quiz තරඟාවලිය, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඩිප්ලෝමා සහතිකලත් පෙදරේරු ශිල්පීන් බිහිකරන A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය මින් මුල්තැන් ගනියි. මීට අමතරව, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ද සමාගම විසින් ක්‍රියාත්මක කෙරේ. දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන ශාක නැවත වගා කිරීමේ වැඩසටහන සහ ශ්‍රී ලංකා නාවික හමුදාව, වනජීවි සංරක්ෂණ භාරය සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති කැපවීම විදහා දක්වයි.

ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා, The Music Project ව්‍යාපෘතියේ භාරකාර ශලිනි වික්‍රමසූරිය මහත්මියට සමාගමේ අනුග්‍රාහක දායකත්වය පිරිනමමින්.