ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය බලගැන්වීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය ටෝකියෝ සිමෙන්ති සමාගම සමග එකමුතුවේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය බලගැන්වීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය ටෝකියෝ සිමෙන්ති සමාගම සමග එකමුතුවේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ටෝකියෝ සිමෙන්ති සමාගම නොබෝදා අවබෝධතා ගිවිසුමකට එළඹුනහ. මෙම ගිවිසුමට අනුව ටෝකියෝ සිමෙන්ති සමාගමේ දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය මගින් නොමිලේ ලබාදෙන, ජාතික වෘත්තීය සුදුසුකම් NVQ පුහුණු පාඨමාලාවන් සඳහා පෙදරේරුවන් සහ නවකයන් යොමු කරවීම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ මැදිහත්වීමෙන් එම දිස්ත්‍රික් කාර්යාල හරහා වඩාත් ක්‍රමවත්ව සිදුකරනු ඇත. පෙදරේරු ශිල්පයේ වෘත්තීමයභාවය සහ ශිල්පීය දැනුම ඉහළ ප්‍රමිතිකරණයක් යටතේ ලබාදීම උදෙසා ආයතන දෙකෙහිම ඇති පහසුකම්, දැනුම සහ කැපවීම එම ඉලක්කය වෙත වඩාත් කාර්යක්ෂමව කේන්ද්‍රගත කිරීමෙන් රටට වඩාත් ඵලදායී රාජ්‍ය-පෞද්ගලික එකමුතුවක් ගොඩනැගීම මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථයයි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරුන් අතර රාජගිරියේ පිහිටි NAITA ආයතනයේ දී අත්සන් කරන්නට යෙදුණු මෙම අවබෝධතා ගිවිසුම බිම් මට්ටමේ ක්‍රියාත්මක කරවීම උදෙසා විශාලතම දායකත්වයක් සපයන, අධිකාරියේ සියලු අංශ භාර අධ්‍යක්ෂවරු සමඟ නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්ෂවරුන් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමූහය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂක/උපදේශක, නීතිඥ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා, පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා, ඉංජිනේරු උපදේශක මෞලි ගුණරත්න මහතා, ටෝකියෝ සුපර්මික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජානක පෙරේරා මහතා සහ සමූහ අළෙවි කළමනාකාර දශන්ත උඩවත්ත මහතා ද මීට සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සියලු ඉදිකිරීම් කාර්මික වෘත්තීය සංවර්ධන සහ පුහුණු වැඩසටහන් සඳහා මාර්ගෝපදේශකත්වය සපයන ඉංජිනේරු උපදේශක මෞලි ගුණරත්න මහතා සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, J.C.K. බස්නායක මහතාගේ මූලිකත්වයෙන් ගොඩනැගුනු මෙම ගිවිසුම, A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය සහ NAITA ආයතනය අතර මේ වනවිටත් පවතින දිගුකාලීන එකමුතුවේ වැදගත් සන්ධිස්ථානයකි. පෙදරේරු වෘත්තියේ නියුතු නුපුහුණු සහ නවක ශිල්පීන් ජාතික වෘත්තීය සුදුසුකම් පටිපාටියට අනුව වර්ගීකරණයෙන් අනතුරුව, ඔවුන්ට කෙටිකාලීන සහ නේවාසික පුහුණුවක් ලබාදී අධිකාරියේ අධීක්ෂණය යටතේ ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් NVQ සහතිකය ලබාදීම A.Y.S. ඥානම් පුහුණු විද්‍යාපීඨය දැනටමත් සිදුකරනු ලබයි. මින් ඉදිරියට ලංකාවේ සියලුම ප්‍රදේශවලින් අධිකාරියේ දිස්ත්‍රික්ක කාර්යාල වල ලියාපදිංචි වන්නන්ට මෙම අවස්ථාව උදාවෙන අතර, පෙදරේරු ශිල්පයේ දක්ෂතාවය සහ පළපුරුද්ද මත ඉහළ ආදායම් මාර්ග ඇතිකරගැනීමට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය හා ඉදිකිරීම් ක්ෂත්‍රයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව ලබාදීම ද NAITA ආයතනය විසින් සිදුකරනු ඇත. 2012 සිට මේ දක්වා NVQ සහතික ලාභීන් 1500කට වඩා බිහිකර ඇති A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය, උපකරණ හා අංග සම්පුර්ණ දේශනා ශාලාවකින් සමන්විත වේ. පාඨමාලා කාලය තුල ආහාරපාන සහ නේවාසිකාගාර පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සපයාදෙමින් අත්දැකීම් සපිරි ගුරු මඩුල්ලක් යටතේ ප්‍රයෝගික මෙන්ම තාක්ෂණික දැනුම සපිරි ඉතා ඉහළ මට්ටමේ පුහුණුවක් මෙහිදී ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය, මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහ වෘත්තීය මට්ටමෙන් සපිරි පෙදරේරු ශිල්පීන් බිහිකිරීමේ දූරදර්ශී අරමුණ ඇතිව, ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති දිවංගත දේශමාන්‍ය ගරු A.Y.S. ඥානම් මැතිතුමන්ගේ නමින් ස්ථාපිත කරන ලද මෙම ඉදිකිරීම් විද්‍යාපීඨයෙන් මේ වනවිට NVQ සහතිකලාභීන් 1500 ආසන්න ගණනක් බිහි කර ඇත. A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ පැවැත්වෙන මෙම NVQ පාඨමාලාවන්ට අමතරව, මේසන් වෘත්තිකයින්ගේ ශිල්පීය දැනුම සහ නවතම නිෂ්පාදන භාවිතය ඇතුළු, වැඩබිමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය පුහුණුව ලබාදෙන සම්මන්ත්‍රණ මාලාවක්, වර්ෂ 1997 සිට මේ දක්වා දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි, උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා විසින් මෙහෙයවනු ලබයි. තවද, රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශයට අනුයුක්ත ඉංජිනේරු වෘත්තිකයන්, කාර්මික සහ තාක්ෂණ සේවා නිලධාරීන් මෙන්ම කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුළු ද මීට‍ ඇතුලත් වේ. නවීන තාක්ෂණික දැනුම සහ පුහුණුව තුලින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිමය මට්ටම ඉහළ තලයකට ගෙනඒම මෙම ජාතික වැඩපිළිවෙලේ අරමුණයි. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන නාමයකි. ක්ෂේත්‍රයට අවශ්‍ය මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහ වෘත්තීය මට්ටමෙන් සපිරි ඉදිකිරීම් කාර්මික ශිල්පීන් බිහිකිරීමේ හෘදයාංගම කර්තව්‍යය ඉටුකිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සමාජ සත්කාර ව්‍යාපෘතියක් වන A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය හරහා උරදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අරමුණයි.