ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීමට සුපිරි තාක්‍ෂණික කේන්ද්‍රයක්

ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීමට සුපිරි තාක්‍ෂණික කේන්ද්‍රයක්

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරණ ක්‍රියාවලිය උසස් තලයකට ගෙන එමින්, එහි සියලු අංශ එක් තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයක් තුල ස්ථාපිත කිරීම නොබෝදා සිදු කෙරිණි. සමාගමේ නිෂ්පාදන කළමනාකරණ මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාර සහ කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ රසායනාගාර මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක්‍රියාත්මක කෙරෙනු ඇත. තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ශ්‍රී ලංකාවේ අංක.1 නාමය ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දිනා ඇති පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කිරීමට නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය පිටිවහලක් වනු ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ තාක්ෂණික සේවා සහකරු, මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවකු වන ජපානයේ Ube Industries සමාගමේ විධායක නිලධාරී මිත්සුඕ ඕනෝ මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. දශක ගණනාවක් පැරණි ජපාන-ශ්‍රී ලංකා සහෝදරත්වය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ධූරය දරන කෙනිචි කකේයා මහතා විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, S.R. ඥානම් ප්‍රමුඛ සමාගමේ සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමූහයේ සේවක සේවිකාවන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී ව සිටියහ.



ජපානයේ Ube Industries සමාගමේ විධායක නිලධාරී මිත්සුඕ ඕනෝ මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් ටෝකියෝ සිමෙන්ති තාක්‍ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කරන ලදී.

මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, අනාගතයට උචිත අධිතාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස නිමකිරීම සඳහා උපදෙස් සහ අධීක්ෂණය ලබාදෙමින් ජපානයේ Ube Industries සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගමට සිය නොමඳ දායකත්වය සපයනු ලැබීය. සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ කලමනාකරණ අධීක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකරමින්, එහි උසස් ප්‍රමිතිය, ඒකාකාරී ඉහළ ඵලදායිතාවයකින් යුතුව සිදු කිරීම, මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ මූලික අරමුණයි. ටෝකියෝ සිමෙන්ති ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතරේම කටයුතු එක් වහලක් යටදී අධීක්ෂණය කිරීමට හැකි පරිදි මේ සඳහාම වෙන්වූ මෙහෙයුම් මැදිරියක් මෙහි ස්ථාපිත කරඇත. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන, ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ අධීක්ෂණ කටයුතුද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදුකෙරේ.

මෙහෙයුම් කටයුතු අධීක්ෂණයට අමතරව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන වලට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකරන විද්‍යාගාර සමූහයක්‌ ද මෙම තාක්ෂණ කේන්ද්‍රයේ පිහිටා ඇත. ISO 17025 සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සහ කොන්ක්‍රීට් පර්යේෂණාගාරය වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවට අයත් මෙම රසායනාගාරය, කොන්ක්‍රීට්, සිමෙන්ති ඇතුළු සියලු ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ගුණාංග ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව මැනබැලීම සහ සහතික කිරීමට සමත් අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.



අභිනවයෙන් විවෘත කෙරුනු තාක්‍ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය හරහා, ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ක්‍රියාවලියේ තාක්ෂණික මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන මෙන්ම තත්ත්ව පාලන අධීක්ෂණය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව සැලසේ .

ජලය, විදුලිය ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කරවන, ඉතා ඉහළ පරිසරහිතකාමී ගෘහනිර්මාණ සැලසුමක් අනුව නිමවා ඇති මෙම තාක්‍ෂණ මධ්‍යස්ථානය, මුළුමනින්ම බලගැන්වෙන්නේ 75KW මුළු ධාරිතාවකින් යුතු සූර්යබල විදුලි පද්ධතියකිනි. මිට අමතරව, වැසි ජලය ගබඩා කිරීම හා ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමද මෙම ගොඩනැගිල්ලේ පරිසරහිතකාමී බව වැඩිදියුණු කිරීමට හේතුවී ඇත. මෙසේ ලබාගන්නා ජලය, බිඳිති තාක්‍ෂණය යොදාගනිමින්, මෙම ගොඩනැගිල්ල සහ ඒ අවට පරිසරයේ රෝපණය කරඇති විශාල ගස්වැල් ප්‍රමාණයක්‌ පෝෂණයට යොදාගැනීම, මෙම තාක්ෂණ සංකීර්ණය භාවිතා කරන ටෝකියෝ සිමෙන්ති සේවක සේවිකාවන්ට වඩාත් හිතැති වටපිටාවක් නිර්මාණය කරදීමට අත්වැලක් සපයයි. මෙවැනි සුවිශේෂ පාරිසරික සාධක රැසකින් සපිරි මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, සහතිකලත් හරිත ගොඩනැගිල්ලක් ලෙස නම් කිරිම සඳහා ඇගයීමට ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම තාක්‍ෂණ කේන්ද්‍රයේ වැදගත්ම විශේෂත්වය වන්නේ, පාසල් මෙන්ම විශ්ව විද්‍යාලයීය සිසුන් ඉලක්ක කරගත් අධ්‍යාපනික තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ද එය යොදා ගතහැකි වීමයි. ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාව, පාසැල් සිසුන් සිය අධ්‍යාපන චාරිකා සඳහා පැමිණෙන ප්‍රමුඛතම ආයතනයකි. මෙම තාක්ෂණික කේන්ද්‍රයේ ඒ වෙනුවෙන් පහසුකම් සලසා ඇති අතර, එහි පැමිණෙන දරුවන්ට සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳව හා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිලිබඳ දැනුම හා අවබෝධය ලබාදෙනු ඇත. මේ සඳහාම සැකසූ, 200ට අධික පිරිසකට ආසන පහසුකම් ඇති සම්මන්ත්‍රණ ශාලාවක් ද මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයට අයත් වේ. තවද, ටෝකියෝ සිමෙන්ති සමාගමේ දශක හතරකට ආසන්න ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථාන, එහි පැමිණෙන සියලු දෙනාටම පෙන්වාදීමේ අරමුණින් සැකසූ චිත්‍රාවලියකින් ද මෙම තාක්‍ෂණ කේන්ද්‍රය අලංකාරවත් කර ඇත.





තාක්ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය තුළ ස්ථාපිත අධ්‍යාපන අවකාශයන්, ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සිමෙන්ති කර්මාන්ත ශාලාව නැරඹීමට එන අමුත්තන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදෙනු ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතිකරණය උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඇති කැපවීම සනාථ කරවන තවත් එක් සටහනක් වන තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය සමාගමේ ඉදිරි ගමනට දැවැන්ත පිටිවහලක් සපයනු ඇති. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.