ටෝකියෝ සිමෙන්ති සමූහය හා The Music Project එකමුතුව 2018 වසරටත්

ටෝකියෝ සිමෙන්ති සමූහය හා The Music Project එකමුතුව 2018 වසරටත්

ටෝකියෝ සිමෙන්ති සමූහය, ගම්බද දරුවන්ට නොමිලේ සංගීතය උගන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග 2018 වසර සඳහාත් අනුග්‍රාහකත්වය දැක්වීමට එක්ව සිටියි. ද මියුසික් ප්‍රොජෙක්ට් යනු ලංකාවේ අගනුවරින් දුරබැහැර අඩු පහසුකම්ලත් පාසල්වල දරුවන්ට සංගීත අධ්‍යාපනය ලබාදෙමින්, එතුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් සපයන ලාභය අරමුණ කරනොගත් ව්‍යාපෘතියකි. 2017 වසරේ සිට ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම වැඩසටහනට සිය දායකත්වය සපයයි.

ආයතන දෙක අතර මේ වසරේ ඇතිකරගත් අවබෝධතාවයට අනුව, ටෝකියෝ සිමෙන්ති සමූහයේ දායකත්වයෙන් මුලතිවු පාලිනගර් මහා විද්‍යාලයේ දරුවන් 110ක් සහ කුරුණෑගල, මාවතගම ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 65ක් වෙනුවෙන් The Music Project සංගීත පුහුණු වැඩසටහන් පවත්වනු ඇත.

එමගින් මෙම දරුවන්ට පාසැල් අධ්‍යාපනයට පරිබාහිරව සතිපතා පැවැත්වෙන සංගීත පන්තිවලදී ඔවුන් කැමතිම බටහිර හා පෙරදිග සංගීත භාණ්ඩ වාදනය උගන්වනු ඇත. දක්ෂතා ඇති දරුවන්ට ව්‍යාපෘතියට අයත් තවත් පාසල් හයක දරුවන්ගෙන් සුසැදි වාද්‍ය වෘන්දයට එක්වීමේ අවස්ථාව ද මින් උදාවේ. රට පුරා පැවැත්වෙන විවිධ සංස්කෘතික උත්සව වලට සහභාගීවෙන The Music Project වාද්‍ය වෘන්දය, දරුවන්ට සිය නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට තෝතැන්නක් මෙන්ම, සියළුදෙනාටම එකසේ ගරු කිරීම, පොදු අරමුණකට කැපවීම, අභියෝග ජයගැනීම වැනි වටිනා ජීවන කුසලතා වර්ධනයට අඩිතාලමක් සපයයි.



සංගීත පන්තියේ පුහුණුවීම් වල යෙදෙන මුලතිව් පාලිනගර් මහා විද්‍යාලයේ දරුවන්

ඉතා අවම පහසුකම් යටතේ පාසැල් වේලාවෙන් පසු සතිපතා පැවැත්වෙන සංගීත පන්තියට පාලිනගර් මහා විද්‍යාලයේ දරුවන්, සිය දෙමව්පියන් සමග කඩිසර කුහුඹුරැලක් මෙන් ඉතා උද්යෝගයෙන් පැමිණෙන්නේ බොහෝ බාධක සහ අගහිඟකම් අභිභවමිනි. මාවතගම ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලයේ සංගීත පන්තිය ද මෙවැනිම ස්වරූපයක් ගනී. සිය දරුවන් වෙනුවෙන් ගොවිතැන් කටයුතු පවා අතපසු කරගනිමින් එන දෙමව්පියන්ගේ මෙන්ම, පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුවරුන්ගේ නොමද කැපවීම සහ උනන්දුව ව්‍යාපෘතියට වටිනා දිරිගැන්වීමක් සපයයි. පන්ති පැවැත්වෙන ස්ථානය සුදානම් කිරීම හා දරුවන්ට ආහාර බෙදාදීම සිදුකරන්නේ ද එම ගැමි දෙමව්පියන් විසිනි. විදුහල් භූමියේ ගස් යට එලාගත් පැදුරු මත දරුවන් විසින් වටකරගත් The Music Project ව්‍යාපෘතියට අනුයුක්ත ගුරුවරුන් මෙන්ම ලොව විවිධ රටවල් වලින් මෙහි පැමිණෙන විදේශීය ස්වේච්ඡා ගුරුවරුන් මෙම පාසැල්වල සුලභ දසුනකි. ටික වෙලාවකින් අවට පරිසරය මිහිරි සංගීතයෙන් මෙන්ම කුඩා දරුවන්ගේ කෙළිලොල් කතාබහින් හා සිනාවෙන් පිරියන්නේ, ව්‍යපෘතිය නිසා මෙම දරුවන්ගේ ජීවිත වල සිදුවූ අපූරු වෙනස සැමට විදහාපාමිනි.



කුරුණෑගල ශ්‍රී ගුණානන්ද විදුහලේ දරුවන් සංගීත පුහුණුවීම් අතරතුර

උතුර දකුණ යාකරන සාමුහිකත්වයේ පාලමක් ගොඩ නංවමින්, මුලතිව් සහ මාවතගම පාසල්වල වසරකට දෙවරක් පැවැත්වෙන ගෘහස්ථ පුහුණු සැසිවාර, මෙම දරුවන් හා දෙමව්පියන් එක පවුලක් සේ මුණගැසෙන තවත් අවස්ථාවකි. මෙම පුහුණු කඳවුරුවලදී, යුද්ධයෙන් පීඩා විඳි ගොවිතැන ජීවනෝපාය කරගත් විවිධ ජාති, ආගම්, සහ කුල වලට අයත් දෙමව්පියන්, තම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ඒ සියළු භේද ඉවතලා සමගියෙන් කටයුතු කරනු දැකගත හැකියි. මෙහිදී ගොඩනැගෙන සහෝදරත්වයේ බැඳීම් මෙම දරුවන්ගේ සංගීතමය චාරිකාවට මහත්වූ රුකුලකි.

මෙරට සහ විදේශයන්හි වෙසෙන දානපතියන්ගේ පරිත්‍යාග සහ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන කිහිපයක දායකත්වයෙන් ගොඩනැගුණු භාරකාර අරමුදලකින් The Music Project ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. සංගීතයෙන් දරුවන්ගේ සිත් සුවපත් කරවා ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට නැවුම් පිටිවහලක් ලබාදීමේ අභිලාශයෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම වැඩසටහන සමග 2017 වසරේ සිට එක්ව සිටියි.

දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමාගම, අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් ගොඩනැංවීම උදෙසා මෙවන් දූරදර්ශී වැඩසටහන් රාශියකට දායකත්වය සපයයි. තවද, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ද සමාගම විසින් ක්‍රියාත්මක කරයි. දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන ශාක නැවත වගා කිරීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ සිදුකරන කොරල් සංරක්ෂණ ව්‍යාපෘතිය මින් ප්‍රමුඛත්වය ගනියි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් වීම සමාගමේ පොරොන්දුවයි.

ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා සහ The Music Project ව්‍යාපෘතියේ භාරකාර ශලිනි වික්‍රමසූරිය මහත්මිය අනුග්‍රාහක අවබෝධතා ගිවිසුම අත්සන් තබමින්.