ගුණ ජය සතුට පදනමේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණු වැඩසටහනට ටෝකියෝ සිමෙන්ති ශක්තිය

ගුණ ජය සතුට පදනමේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණු වැඩසටහනට ටෝකියෝ සිමෙන්ති ශක්තිය

ටෝකියෝ සිමෙන්ති සමාගම ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා ගුණ ජය සතුට පදනම සමග එක්ව දියත් කරන ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට 2018 වසර සඳහාත් සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටියි. අඛණ්ඩ 4වන වසරටත් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරුවන්ටත් සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවන් උදා කරදීමයි. ගුණ ජය සතුට පදනම විසින් මේ යටතේ දකුණු පළාතේ සහ උතුරේ පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ ක්‍රිකට් පුහුණු පහසුකම් ස්ථාපිත කිරීම සහ පුහුණු වැඩමුළු සංවිධානය කරනු ලබන අතර, තෝරාගත් දක්ෂතා පිරි දරුවන්ට ප්‍රවීණ පුහුණුකරුවන් යටතේ සිය හැකියාවන් මුවහත් කරගැනීමට ද පහසුකම් සපයයි.

ටෝකියෝ සිමෙන්ති සමාගම 2014 වසරේ පටන් ලංකාවේ සෑම කෙළවරකින් ම අනාගත ක්‍රිකට් තරු සෙවීමේ අරමුණින් ගුණ ජය සතුට පදනම විසින් සංවිධානය කරන මෙම ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දේ. ගුණ ජය සතුට පදනමේ ආරම්භක සභාපති/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතාගේ සංකල්පය අනුව යමින්, දකුණේ සීනිගම සහ හික්කඩුව නගර කේන්ද්‍ර කරගත් ක්‍රීඩාගාර සහ පුහුණුවීම් සඳහා යටිතල පහසුකම් ඉදිකරමින් ඇරඹි මෙම වැඩසටහනින්, පළාත්බද පාසැල් ක්‍රීඩකයන්ට දිවයිනේ සිටින අති දක්ෂතම පුහුණුකරුවන් සහ ක්‍රීඩා විශේෂඥයන් යටතේ ක්‍රිකට් පුහුණුවට අවස්ථාව උදාකර දෙයි.

ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා ප්‍රධානී, ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු වන අනුර ද සිල්වා මහතා විසින් නායකත්වය සපයන මෙම ක්‍රිකට් පුහුණු පාසැල, එම පදනම විසින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වය ඇතිව පවත්වාගෙන යන හික්කඩුව ශ්‍රී සුමංගල MCC ලෝර්ඩ්ස් සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි සරේ ඕවල් ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවැත්වේ.



ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය මහතාගේ මුලිකත්වයෙන්, ඔහුගේ කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරුවන් මඩුල්ලකගේ මගපෙන්වීම යටතේ මෙම පුහුණු කඳවුරු පවත්වනු ලබන අතර ලෝ සුපතල ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ද වරින් වර ලබාගනිමින් පවත්වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ පුහුණු සැසිවාර වලදී මෙම දරුවන්ගේ කුසලතා ඔපමට්ටම් කරගැනීමට අවස්ථාව සැලසේ. ප්‍රදේශයේ ගම්බද පාසල් 15ක් පමණ නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් 600කට වැඩි ගණනක් මෙහි පුහුණුව සඳහා වසරක් පාසා බඳවා ගන්නා අතර, ඉන් තෝරාගත් දක්ෂතා සහිත දරුවන් 40ක් සිය නිත්‍ය සංචිතයට බඳවාගෙන සිටියි. මෙම සංචිතයට අයත් 13න් පහළ කණ්ඩායමේ දරුවන් 11ක්, 15න් පහළ කණ්ඩායමේ දරුවන් 12ක් සහ, 17 සහ 19න් පහළ කණ්ඩායම් වල දරුවන් 17ක් විශේෂ පුහුණු සහ ශාරීරික යෝග්‍යතා වැඩසටහනකට යොමු කෙරේ.



දකුණු පළාත් ක්‍රිකට් පුහුණු කඳවුරේ ප්‍රගතිය ආදර්ශයට ගත් මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවර වූයේ 2017 අගෝස්තු පටන් උතුරු පළාතේ මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු ආරම්භ කිරීමයි. හේමන්ත දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ඇරඹි පුහුණු වැඩමුළු මේ වනවිට උතුරේ කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, සහ වවුනියාව වැනි ප්‍රධාන නගර සහ මන්නාරමේ පවත්වා ඇත. ඉදිරියේදී නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ කරා ද මෙම ක්‍රිකට් පුහුණු කඳවුරු ව්‍යාප්ත කර, එම පළාත් වල දක්ෂ දරුවන්ට ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාවේ නම බැබලවීමට අවස්ථාව ලබාදීම මෙහි ඉලක්කයයි.

මෙම වැඩසටහන පාසැල් පුහුණුකරුවන්ගේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන අතර ඔවුන් විසින් හඳුනාගන්නා දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් පුහුණු පාසලේදී වැඩිදුර පුහුණුව සහ තම දක්ෂතා මුවහත් කරගැනීමට අවස්ථාව හිමි වේ. ගුණ ජය සතුට පදනම දකුණු පළාතේ පවත්වන මාසික ක්‍රිකට් පුහුණු කඳවුරෙන් මේ වනවිට අතිදක්ෂ පාසැල් ක්‍රීඩකයින් රැසක් බිහිකර ඇති අතර, තම පාසැල දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළට රැගෙන යාමට සහ දිස්ත්‍රික් කණ්ඩායමට එක්වීමට ද ඉන් බොහෝ දෙනෙක් සමත්ව සිටිති.

මෙම ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ දක්ෂ පාසල් ක්‍රීඩකයින් අතර සුපිරි තරු කිහිපයක් ද වේ. 2018 නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, ගාල්ල ශා. ඇලෝසියස් විදුහලේ හරේන් බුද්ධිල වීරසිංහ මේ අතරින් කැපී පෙනෙයි. 2017/18 ක්‍රිකට් වාරයේ 19න් පහළ හොඳම පන්දු යවන්නා සම්මානය ද හරේන් විසින් දිනා ගන්නා ලදී. බලපිටිය ශ්‍රී රේවත විද්‍යාලයේ නවිඳු පැහැසර, සීනිගම ක්‍රිකට් පාසැලෙන් බිහිවූ එවැනිම දක්ෂතා දැක්වූ තවත් සුපිරි තරුවකි. 2017 දෙසැම්බර් පැවැත්වූ 15න් පහළ මුරලි කප් අවසාන මහා තරඟයේ දී, නිපන්දුවක් ද සහිත බෝල 7කට දැවැන්ත හයේ පහර 7ක් එල්ල කරමින් එම වයස් කාණ්ඩයේ ලෝක වාර්තාවක් තබන්නට නවිඳු සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ජවය සනිටුහන් කරන, රත්ගම දේවපතිරාජ විද්‍යාල කාන්තා කණ්ඩායමේ කවිෂා දිල්හාරි, අනාගතය පිලිබඳ සුභ ලකුණු පළකරන ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවකි. 2018 මාර්තු මස පැවති 20-20 තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පකිස්ථානයට එරෙහිව තරඟ කරන්නට ඇයට අවස්ථාව හිමිවිය. 2018 වසරේ 19න් පහළ තරඟාවලියේදී ධර්මපාල කාන්තා පිලට එරෙහිව ත්‍රිත්ව ශාතකයක් ලබා ගනිමින්, ලෝක වාර්තා පොතේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ලොව ප්‍රථම ත්‍රිත්ව ශතකය සිය නමට ඉදිරියෙන් සටහන් කරන්නට කවිෂා සමත්වූවාය.



මෙම සහයෝගිතාවයේ අතුරුපලයන් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පිණිස තවත් අංශ ගණනාවකින් ටෝකියෝ සිමෙන්ති සමාගම සිය සහයෝගය ලබාදෙයි. ගුණ ජය සතුට පදනමේ තවත් භාරකරුවෙකු වන ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුමෙන් ක්‍රියාවට නැංවූ උතුරු නැගෙනහිර පාසැල් 30ක කොන්ක්‍රීට් තණතිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය මින් එකකි. තවද, පළාත්බද පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් 400ට අධික ගණනකට සිය දක්ෂතා උරගා බැලීමට අවස්ථාව සලසමින්, ක්‍රීඩාශ්‍රීලිත්වයේ ශක්තිමත් පදානම මත උතුර දකුණ යා කරන පාලමක් ගොඩනැගීම උදෙසා සංවිධානය කෙරෙන මුරලි හාමනි කප් 20-20 ක්‍රිකට් තරඟාවලියට අඛණ්ඩ අනුග්‍රාහකත්වය සැපයීම මේ අතරින් විශේෂ වේ. මේ හරහා සිය දක්ෂතාවන් මතින් කැපීපෙනෙන ක්‍රීඩා පෞරුෂයන් ගොඩ නංවා, එතුලින් සිය අනාගතය දීප්තිමත් කරගැනීමට ගම්බද දරුවන්ට දොරගුළු විවර කරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිලාෂයයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නිරතුරුව සිය සහයෝගය ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත් වන්නේ, භාෂාව, සංස්කෘතිය ආදී සියළු වෙන්කිරීම් අභිබවා සියළු ශ්‍රී ලාංකිකයන් දැඩි සහෝදර බැම්මකින් එකතු කරවීමට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති විස්මිත හැකියාව හොඳින් හඳුනාගෙන සිටින නිසාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාවේ එම ජීව ගුණය ශක්තිමත් අඩිතාලමක් කරගනිමින් අනාගත පරපුර අතර නොසැලෙන බැඳීමක් ඇතිකිරීම, අප රටේ අනාගතය ගොඩනැංවීමේ හෘදයාංගම කාර්යයට උරදී සිටින ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි. ගුණ ජය සතුට පදනම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරවීමේ අරමුණින්, අධ්‍යාපනික සහ කුසලතා ප්‍රවර්ධන අංශ 30ක් යටතේ ගම්මාන 200ක ප්‍රතිලාභීන් 15,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් වැඩසටහන් රැසක් නොමිලයේ ක්‍රියාත්මක කරයි. දකුණු පළාතේ සීනිගම සිය මූලස්ථානය ව්‍යාපෘති කේන්ද්‍රස්ථානය කරගනිමින් දිවයින පුරා පිහිටි ‘ගැමි හදගැස්ම ව්‍යාපෘති’ මධ්‍යස්ථාන 9ක් හරහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ජායාරූපය : ගුණ ජය සතුට පදනමේ ආරම්භක සභාපති/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා සමඟ.