ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් පත්වේ

ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් පත්වේ

Spread the love
කීර්තිමත් බැංකුකරුවෙකු වන ජෙගන් දුරෙයිරත්නම් මහතා සහ UBE සිංගප්පූරු පුද්ගලික සමාගම නියෝජනය කරමින් මිචියෝ මට්සුඕකා මහතා ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව සමාගම දැනුම් දෙයි. කොමර්ෂල් බැංකුවේ වසර 36ක කලමනාකරණ සේවා ඉතිහාසයකට උරුමකම් කියන ජෙගන් දුරෙයිරත්නම් මහතා බැංකුකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙකි. එතුමා 2012 අප්‍රේල් සිට 2014 ජූලි දක්වා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් 2014 ජූලි සිට 2018 ජූලි මාසයේදී විශ්‍රාම යන තෙක් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සේවය කළේය. ඔහු කොමර්ෂල් බැංකුවේ තවත් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක් දරා ඇති අතර, ඊට ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ජාත්‍යන්තර බැංකු සේවා, සහකාර සාමාන්‍යාධිකාරී ජාත්‍යන්තර බැංකු සේවා, සහ ආනයන අංශ ප්‍රධානී යන තනතුරු ඇතුළත් වේ. දුරෙයිරත්නම් මහතා කොමර්ෂල් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය ද හොබවා ඇති අතර ලංකා මූල්‍ය සේවා කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත. දුරෙයිරත්නම් මහතා මේ වනවිට DFCC බැංකුවේ විධායක නොවන ස්වාධීන සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඔහු Asian Hotels and Properties PLC, Ceylinco Life Insurance Limited, Assetline Finance Limited සහ Enviro Solutions (Private) Limited යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. තවද, 2025 අප්‍රේල් 1 වන දින සිට ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට UBE සිංගප්පූරු පුද්ගලික සමාගම නියෝජනය කරමින් නාමික සහ විධායක නොවන අධ්‍යක්ෂ ලෙස මිචියෝ මත්සුඕකා මහතා පත් කර ඇති බව සමාගම දන්වා සිටියි. මත්සුඕකා මහතා වර්තමානයේ UBE සිංගප්පූරු පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. ඔහු ජපානයේ සොෆියා විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බැබ්සන් විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධියක් ලබා ඇත. ව්‍යාපාර සංවර්ධනය සහ ජාත්‍යන්තර අලෙවිකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඔහු මීට පෙර සාමාන්‍යාධිකාරී සහ ව්‍යාපෘති කළමනාකාර තනතුරු දරා ඇත.   මෙම පත්වීම් සමඟ ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට, සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ඒ.ඩී.බී. තල්වත්ත, රවී ඩයස්, නීතීඥ ඩබ්ලිව්.සී. ප්‍රනාන්දු, ප්‍රවීන් ඥානම්, ඇව්‍රිල් ඈන් ලුඩොවයික්, මනෝ සේකරම්, මිචියෝ මට්සුඕකා සහ ජෙගන් දුරෙයිරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ. ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන සඳහා මෙරට විශාලතම නිෂ්පාදකයා වේ. දශක හතරක් ඉක්මවන සවිමත් ව්‍යාපාරික ඉතිහාසයකට උරුමකම් කියන සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ප්‍රතිඥා දී ඇති ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි. අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.