දේශමාන්‍ය A.Y.S. ඥානම් ගුණසමරු උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

දේශමාන්‍ය A.Y.S. ඥානම් ගුණසමරු උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ගුණසමරු උත්සවයට සමගාමීව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවතම ජෛව ඉන්ධන විදුලි බලාගාරය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ත්‍රිකුණාමලයේ පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයේ දී නොබෝදා විවෘත කෙරිණි.

මැයි මස 5 වෙනිදා ට යෙදෙන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති, දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ජන්ම දින ගුණසැමරුම අලළා පෙළගස්වා තිබුණු විශේෂ වැඩසටහන් අතරට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මෙම ජෛව ඉන්ධන විදුලි බලාගාරය විවෘත කිරීමට අමතරව, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 25ක් සඳහා සමාගම විසින් නිලාවේලි ප්‍රදේශයේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීම, සහ සුනාමියෙන් අවතැන් වූ පවුල් 25කට මින් පෙර ප්‍රදානය කරන ලද නිවාස වල ඔප්පු ප්‍රධානය සහ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේම ඉදිවන තාක්ෂණික ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම මෙදින සිදුකෙරිණි.

උත්සව මාලාවේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විවෘත කිරීමේ උත්සවයට, ගරු විපක්ෂ නායක R. සම්බන්දන් මැතිතුමා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට අමතරව ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාරිත්වය නියෝජනය කරමින් එහි සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමූහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් සහ සේවක මහත්මමහත්මීන් සහභාගී ව සිටියහ.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති, දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන් යනු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී සේවාවක් ඉටු කළ යුග පුරුෂයෙකි. ඉතිහාසයේ ප්‍රථම වරට පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවමින් ස්ථිරසාර කාර්මීකරණයේ පුරෝගාමී පියවරක් තැබූ එතුමන්ගේ යුග මෙහෙවර ස්මරණය කරමින් දියත්කෙරුණු නව බලාගාරය විවෘත කිරීමට අතිගරු ජනාධිපතිතුමා සහභාගී වීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි.



අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් නව ජෛව ඉන්ධන විදුලි බලාගාරය පළමු වරට ක්‍රියාත්මක කරවීම.

2015 වසරේ රුපියල් බිලියන 2.5ක ආයෝජනයකින් ඉදිකිරීම ඇරඹුණු මෙම මෙගාවොට් 8ක ධාරිතාවයෙන් යුත් ටෝකියෝ සිමෙන්ති ජෛව ඉන්ධන විදුලි බලාගාරය මෙතැන් පටන් වසරකට ගිගාවොට් පැය 70ක් ජාතික විදුලි පද්ධතියට එක් කරනු ඇති අතර ප්‍රජා මූලික ව්‍යාපාර සංකල්පය ඔස්සේ සපයා ගැනෙන කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිතයෙන් ක්‍රියාත්මක වෙනු ඇත. මෙසේ වසරකට ජනනය කෙරෙන මෙගාවොට් පැය 160,000 ක පරිසරහිතකාමී විදුලිබල පරිමාව, අප රටේ ග්‍රාමීය නිවාස 100,000ක් ආලෝකමත් කිරීමට අවශ්‍ය විදුලි පරිමාවට සමාන වේ.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ, “සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය සම්පත් වලින් ජනනය කරන බලශක්ති ප්‍රමාණය 2017 වන විට 10%ක් කර ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට මෙසේ දායක වීමට හැකිවීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. වාර්ෂිකව මෙගාවොට් 23ක සමස්ත ධාරිතාවක් ජනනය කිරීමට සමත් ජෛව ඉන්ධන විදුලි බලාගාර පද්ධතිය නිසා, අද පටන් දේශයේ පුනර්ජනනීය විදුලි ජනනය උදෙසා විශාලතම දායකත්වයක් ලබා දෙන එකම පෞද්ගලික සමාගම වන්නට ටෝකියෝ සිමෙන්ති සමූහයට හැකිවීම අපගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය අපේ රටට සහ අපගේ පරිසරයට ආදරය කරන සැමගේත් ජයග්‍රහණයක්.”

කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු අනෙකුත් ව්‍යාපාරවලට ආදර්ශයක් වෙමින්, ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව ටෝකියෝ සිමෙන්ති සමාගම සිය මුළු නිෂ්පාදන ක්‍රියාවලියම සිදු කරනු ලබන්නේ පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් බව පවසන්නේ මහත් අභිමානයෙනි. එම ගමනේ පළමු පියවර 2008 වසරේ සටහන් කරමින්, කෘෂි අපද්‍රව්‍ය භාවිතයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රථම ජීව ඉන්ධන විදුලි බලාගාරය, මෙගා වොට් 10 ක ධාරිතාවයකින් යුතුව දියත් කෙරිනි. එහි දෙවන පියවර, ශ්‍රී ලංකාවේ පළමු මෙන්ම විශාලතම Dendro ජීව ඉන්ධන විදුලි බලාගාරය 2014 දී මහියංගනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමයි. මෙගා වොට් 5 ක ධාරිතාවයකින් යුතු මෙම බලාගාරය ප්‍රදේශයේ වැසියන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කරනවා පමණක් නොව, ගැමි නිවාස 30,000 කට විදුලිය ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත ද ඒකාලෝක කරයි.

දේශමාන්‍ය A.Y.S. ඥානම් ගුණසමරු උත්සව සංවිධානය පිළිබඳ අදහස් දැක්වූ, ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා පවසා සිටියේ, දිවංගත A.Y.S. ඥානම් මැතිතුමන් කර්මාන්ත ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙක් වනවා සේ ම අතිශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංග වලින්ද පිරිපුන් උතුම් මිනිසෙක් ද වූ බවයි. ඔහු විසින් ස්ථාපිත කරන ලද සමාගම් ද ඔහුගේ අඩි පාරේ යමින් රටට අවශ්‍යම අවස්ථාවන්හි දී පෙරට පැමිණෙන ආකාරය, 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ජනජීවිත ගොඩනැංවීමට මුලින්ම ඉදිරිපත් වූ ආකාරයෙන් ඉස්මතු වේ. ටෝකියෝ සිමෙන්ති සමාගමට අයත් පෞද්ගලික ඉඩමක සුනාමියෙන් අවතැන්වූ පවුල් 25කට නිවාස ඉදිකොට ප්‍රදානය කිරීමෙන් එය ප්‍රකට වන බව පැවසූ ඒ මහතා, ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එම ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගී වීම දිවංගත ඥානම් මැතිතුමාට සිය ගෞරවාදරය පිරිනැමීම සංකේතවත් කරන බවද පැවසීය.

එදින උදෑසන පැවති තවත් උත්සවයක දී ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා අතින් යුද්ධයෙන් අවතැන් වූ පවුල් 25ක් සඳහා සමාගම විසින් නිලාවේලි අඩම්පොඩෙයි ප්‍රදේශයේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීම ද සිදුවිය. ඉන්දියාවේ සරණාගතයන් ලෙස ඉතා දුෂ්කරතා මැද දිවිගෙවූ මෙම පවුල් 25හේ සාමාජිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වියදමකින් ඉදිවන එම නව ව්‍යාපෘතියෙන් සෑම පවුලකටම ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් පර්චස් 10ක ඉඩම් කට්ටියක් සහ නව නිවසක් හිමිවනු ඇත.

ගුණසමරු උත්සවයේ තවත් අංගයක් වුයේ දිවංගත A.Y.S. ඥානම් මැතිතුමාගේ නමින් ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේම ඉදිවන තාක්ෂණික ගොඩනැගිල්ලක් සඳහා ද මුල්ගල තැබීමයි.

දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන් විසින් මූර්තිමත් කල ජීවන දැක්ම අනුව සිය ව්‍යාපාරික ගමන හැඩ ගස්වාගෙන සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම, ඔහුගේ නාමය අනාගතයේත් බැබලවීමට කැපවී සිටී. ඒ අනුව යමින්, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන ක්ෂේත්‍ර කිහිපයක දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති රාශියකට ටෝකියෝ සිමෙන්ති සමූහය සිය නිහඬ දායකත්වය සපයයි. මින් වඩාත් වැදගත්ම ව්‍යාපෘතියක් වන්නේ කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනයි. මෙම ව්‍යාපෘතිය යටතේ, අනුපමේය පාරිසරික වටිනාකමක් උසුලන නමුත් දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණපා තිබෙන කඩොලාන පැල 40,000 කට අධික සංඛ්‍යාවක් නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත පරිසර පද්ධතියට එක් කර ඇත. දෙවනුව, පාරිසරික වගකීම ඉටු කිරීමෙහි ලා අප දරන ප්‍රයත්නයෙහි වටිනාම සාක්ෂිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කෙරෙන කොරල් ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් මගින් ජීවමාන වන අතර තම රට, තම රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව ප්‍රකට කරවයි.