ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ 2018 වාර්ෂික සම්මේලනය ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන්

ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ 2018 වාර්ෂික සම්මේලනය ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන්

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ (Society of Structural Engineers of Sri Lanka – SSESL) වාර්ෂික සම්මේලනය මෙවරත් අතිසාර්ථක අන්දමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. සිය සාමාජිකයන්ගේ නව පර්යේෂණ සහ විද්‍යාත්මක සොයා ගැනීම් එළි දැක්වීම උදෙසා වර්ෂයක් පාසා සංවිධානය කරනු ලබන මෙම සම්මේලනය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලද්දේ ටෝකියෝ සිමෙන්ති සමාගම විසිනි. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අංශ නියෝජනය කරමින් වරලත් ඉංජිනේරුවන්, ඉංජිනේරු උපදේශකයන්, ඉදිකිරීම් වෘත්තීයවේදීන් මෙන් ම සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සිසුන්ගෙන් සමන්විත 200 කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී ව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රාහකත්වයෙන් මෙවර සම්මේලනයේ ප්‍රධාන දේශනය සඳහා ලොව ප්‍රකට ඉංජිනේරු පර්යේෂකයෙකු වන ජපානයේ සයිතාමා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින්ගෝ අසමෝටෝ මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවක් සමග සමීප සබඳතාවන් ඇති මහාචාර්ය අසමෝටෝ, අධික ඌෂ්ණ දේශගුණික තත්ත්වයන් යටතේ කොන්ක්‍රීට්කරණයෙදී මුහුණපෑමට සිදුවන ගැටළු පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර නානායක්කාර මහතා සමග එක්ව සිදුකරමින් සිටින අධ්‍යයනයක් ඇසුරින් සිය ප්‍රධාන දේශනය පැවැත්වීය. ජපන් විද්‍යාභිවර්ධන සංගමය ශ්‍රී ලංකාවේ මොරටුව සහ රුහුණු විශ්වවිද්‍යාල ද ඇතුලත්ව තායිලන්ත සහ වියට්නාම විශ්වවිද්‍යාල සමූහයක් එක්ව මෙම පර්යේෂණය සිදුකරනු ලබයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්‍ෂක, ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ, අප රට මේ වන විට යොමුව සිටින වේගවත් සංවර්ධන ගමනේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ වාර්ෂික විද්වත් හමුවට අනුග්‍රාහකත්වය සැපයීම තම ආයතනය ලද මහඟු අවස්ථාවක් බවත්, එවන් සමුළුවකට ජපානයේ සයිතාමා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසමෝටෝ මහතා සහභාගී කරවීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට නව පන්නරයක් ලබා දීමට හැකි වීම ඉමහත් සතුටට කරුණක් වන බවත්ය. ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති, ඉංජිනේරු K.L.S. සහබන්දු මහතා ටෝකියෝ සිමෙන්ති සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්‍ෂක, ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා සමග ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ නව දැනුම සහ විද්‍යාත්මක සොයා ගැනීම්, සිය සහෘද ප්‍රජාව මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අධ්‍යාපනඥයන් හමුවේ ඉදිරිපත් කර, ඒ පිළිබඳ විද්වත් කතිකාවක් ඇති කිරීම උදෙසා මෙම වාර්ෂික සම්මේලනය සංවිධානය කෙරේ. මෙවර සමුළුවේ දී ව්‍යුහාත්මක ඉංජිනේරු පශ්චාත් උපාධි පර්යේෂණ පත්‍රිකා එකොළහක් එලි දක්වන ලදී. සමුළුවේ පළමු සැසිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිහාල් සෝමරත්න මහතා විසින් මෙහෙයවන ලද අතර, දෙවන සැසිවාරය මෙහෙයවන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදය දිසානායක මහතා විසිනි. තවද, ටෝකියෝ සුපර්මික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජානක පෙරේරා මහතා, දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරන නිෂ්පාදනාගාර 11 කින් සමන්විත විශාලතම කොන්ක්‍රීට් සැපයුම් ජාලයට හිමිකම් කියන ප්‍රමිතියෙන් අංක.1 පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන ටෝකියෝ සුපර්මික්ස් පිලිබඳ විශේෂ දේශනයක් ද පැවැත්වීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ හිටපු අංශාධිපති ආචාර්ය නිහාල් සෝමරත්න මහතා සමුළුවේ පළමු සැසිය මෙහෙයවමින් ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය රටේ සංවර්ධනට මෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අනූපමේය සේවාවක් ලබා දෙයි. රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ලබා දෙන නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි ආයතන රාශියකට සිය සම්පත් දායකත්වය ලබා දෙමින් ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛතම කාර්යභාරයක් සංගමය විසින් ඉටු කරනු ලබයි. මීට අමතරව ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තියවේදීන් සඳහා විශේෂ සම්මේලන සහ වැඩමුළු පවත්වමින් ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා විශේෂඥතාවය වැඩිදියුණු කිරීම සඳහා ද ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමය (SSESL) විසින් මහඟු කාර්යභාරයක් ඉටු කරනු ලබයි.