ත්‍රිකුණාමලයේ අවතැන් පවුල් 25කට ටෝකියෝ සිමෙන්ති සමූහයෙන් නව නිවාස

ත්‍රිකුණාමලයේ අවතැන් පවුල් 25කට ටෝකියෝ සිමෙන්ති සමූහයෙන් නව නිවාස

මැයි මස 5වෙනිදාට යෙදෙන දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ 96වන ජන්ම සංවත්සරයට හෘදයාංගම සැමරුමක්

යුද්ධය නිසා සිය නිවාස ඉඩකඩම් හැරයාමට සිදුවූ උතුරු නැගෙනහිර ජිවත් වූ අප සහෝදරයන් බොහෝ දෙනෙකුට සිදුවුනේ අනාථ කඳවුරු වලට කොටුවීමටයි. හිසට වහලක් හෝ තමන්ගේ කියා බිම් අඟලක් හෝ නොමැතිව යුද්ධයට මැදිවූ පවුල් සියගණනකගේ සිහිනය වූයේ කවදා හෝ දිනෙක නැවතත් තමන්ගේම කිව හැකි නිවසක ජීවත් වීමයි. යුද්ධය අවසන් කිරීමෙන් පසු අපට පැවරුණු ප්‍රමුඛතම වගකීම වූයේ මෙසේ අනාථ වූ පිරිසට, විශේෂයෙන්ම ඔවුන් අතර සිටි පාසල්වියේ කුඩා දරුවන්ට සිය සුන්දර ළමාවිය ආරක්ෂිතව සතුටින් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සහ පහසුකම් සලසාදීමයි. මෙම කාලීන අවශ්‍යතාවය හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරය මීට විසඳුමක් ලබාදීමට පෙරමුණ ගෙන සිටියි. එම මිනිසුන්ගේ ජිවිත වලට ශක්තියක් වෙමින් මෙම දරුවන්ගේ මුහුණු වලට සිනහව නැවත ගෙන ඒම සඳහා, එම සෑම පවුලකටම තමන්ගේම කිවහැකි නිවසක් ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරිපත් වූහ. ඒ අනුව, යුද්ධයෙන් අවතැන්වූ පවුල් 25ක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිලාවේලි ප්‍රදේශයේ අඩම්පොඩේයි හි නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සමාගම යුහුසුළු විය. ආත්මාභිමානයෙන් යුතුව සිය ජීවිත ගොඩනංවා ගැනීම සඳහා මෙම පවුල් වලට ශක්තිමත් අඩිතාලමක් සැපයීම සමාගමේ අරමුණ විය.

2017 වසරේ මැයි 5වනදාට යෙදුනු, ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිඳුන්ගේ ජන්ම සංවත්සරය අලලා පැවති ගුණසමරු වැඩසටහනට සමගාමිව, සමාගමේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ සුරතින් මෙම නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබින. මෙම භූමියට යාබදව පිහිටි අනෙක් නිවාස සංකීරණයේ ඔප්පු, අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් සුනාමියෙන් අවතැන් වූ පවුල් 25කට ප්‍රදානය කිරීමද එම ගුණසමරුවේදී සිදු විය.

ඉන් වසරක් ගතවීමටත් පෙර, 2018 මාර්තු 21වන දින ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ ගරු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී R. සම්බන්දන් මැතිතුමාගේ අතින් විදුලිය, නළජලය සහ දියුණු මාර්ග පද්ධතියකින් සපිරි මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් විසින් තෝරාදුන් අවතැන් පවුල් 25කට නිවාස හිමිකම් පැවරු මෙම උත්සවයට, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් සහ ආණ්ඩුවේ ඒජන්ත N.A.A. පුෂ්පකුමාර මහතා ප්‍රමුඛ රජයේ නිලධාරී මහතුන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ සාමාන්‍යධිකාරී, විධායක අධ්‍යක්ෂ නීතිඥ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීව සිටියහ.



ඉන්දියාවේ සරණාගතයන් ලෙස ජීවත්වූ මෙම පවුල් 25හේ සාමාජිකයන් සහ මින් පෙර සුනාමි නිවාස හිමිකරගත් පවුල් 25 සාමාජිකයන් වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමාගමට සිය ස්තුතිය පිරිනමමින් ගරු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී R. සම්බන්දන් මැතිතුමා උත්සවය ඇමතීය. 1984 වසරේදී එවකට ජනාධිපති ජයවර්ධන මැතිතුමන් විසින් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කම්හල සඳහා මුල්ගල තැබූ දිනය සිහිපත් කළ එතුමා, එහිදී තමන් විසින් දිවංගත A.Y.S. ඥානම් මහතාගෙන් කළ ඉල්ලීමට අද දක්වාම ගරු කරමින්, ත්‍රිකුණාමලයේ තරුණ තරුණියන් සියගණනකට ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ රැකියා අවස්ථා සලසා දීම පිළිබඳව සමාගමට සිය නොමඳ ස්තුතිය පළ කළේය. බේද නොසලකමින්, තම රට වෙනුවෙන් ඉටුවියයුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකරමින් ලබාදෙන ආදර්ශය වෙනුවෙන් එතුමා ටෝකියෝ සිමෙන්ති සමාගමට සිය ප්‍රණාමය පළකලහ. සමාගම වෙනුවෙන් ව්‍යාපෘතියට නායකත්වය සපයමින්, එය අධීක්ෂණය කළ ටෝකියෝ සිමෙන්ති ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ සාමාන්‍යධිකාරී රවින්ද්‍රකුමාර් මහතා, එදින ඔප්පු ලබාගත් සෑම නිවෙස් හිමියෙක්ටම පර්චස් 10ක බිම් කැබැල්ලක් සමග රු. මිලියන 2.3ක පිරිවැයක් දරමින් ඉදිකෙරුණු අංගසම්පුර්ණ නිවසක් හිමිකරදීමට හැකිවීම අතිශයින් සතුටට කරුණක් බව පවසා සිටියේය. පුළුල් මාර්ග පද්ධතියක්, ප්‍රජා ශාලාවක් සහ ළමා උද්‍යානයක් සහිතව නිවාස සංකීර්ණය ඉදිකිරීමෙන් නොනැවතුනු ටෝකියෝ සිමෙන්ති සමාගම, සෑම නිවසකටම වටිනා දැව ඇඳක් සහ අල්මාරියක් ද ලබාදෙමින්, එහි හිමිකරුවන්ට මෙතෙක් අහිමිව තිබූ සැපපහසුකම් වලින් බිඳක් නැවත සපයාදීමට තරම් කාරුණික වූහ. දැඩි දුෂ්කරතා මැද ජීවත්වූ සහෝදර පිරිසක් වෙනුවෙන් ආයතනික සමාජීය වගකීමෙන් කොටසක් ඉටුකරදී, ඔවුන්ට නැගී සිටීමට ශක්තිය සැපයීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට එදින හැකිවූ බව ඔහු පැවසීය.



කර්මාන්ත ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙක් වූවා සේ ම, අතිශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංග වලින්ද පිරිපුන්, උතුම් මිනිසෙක් වූ දිවංගත A.Y.S. ඥානම් මැතිතුමන් විසින් ස්ථාපිත කරන ලද සමාගම් ද ඔහුගේ අඩි පාරේ යමින් සිය යුතුකම් කොටස ඉටු කිරීමට කැපවී සිටින අයුරු මෙම ව්‍යාපෘතියෙන් ගම්‍ය වේ. ඊට අමතරව, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන ක්ෂේත්‍ර කිහිපයක දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති රාශියකට ද ටෝකියෝ සිමෙන්ති සමූහය සිය දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහය මෙවන් වැඩසටහන් මගින් තම රට, තම රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව ප්‍රකට කරවයි. දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන් විසින් මූර්තිමත් කල ජීවන දැක්ම අනුව සිය ව්‍යාපාරික ගමන හැඩ ගස්වාගෙන සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම, ඔහුගේ නාමය අනාගතයේත් බැබලවීමට කැපවී සිටී.