යුධ හමුදා භට පිරිසක් A.Y.S. ඥාණම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ NVQ පාඨමාලාව සාර්ථකව නිමකරති

යුධ හමුදා භට පිරිසක් A.Y.S. ඥාණම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ NVQ පාඨමාලාව සාර්ථකව නිමකරති

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ සංවර්ධනය ව්‍යායාමයට අනූපමේය දායකත්වයක් ලබා දෙමින් දේශය ගොඩනැගීම උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. මෙම කර්තව්‍යයට උරදීමක් ලෙස, එම සේවාවන්හි නිරත හමුදා භටයින්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය නිරතුරුව යොදාගැනේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඉංජිනේරු උපදේශක මෞලි ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සියළු වෘත්තීය පුහුණු පාඨමාලා සහ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මෙහෙයවනු ලැබේ. 2018 වසරේ මේ දක්වා කිලිනොච්චිය, වන්නි සහ මුලතිව් ප්‍රදේශවලට අනුයුක්ත යුධ හමුදා සෙබළුන් 53ක් ඉදිකිරීම් විද්‍යාපීඨයේ පුහුණුව ලබා ඇති අතර, ඉන් 34ක් පෙදරේරු ශිල්පයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 3 සහතික මට්ටම අති සාර්ථක ලෙස සම්පුර්ණ කර ඇත. මාසයක නේවාසික පුහුණුව සම්පුර්ණ කළ ඉතිරි පිරිස නොබෝ දිනකින් ජාතික වෘත්තීය සුදුසුකම් පරීක්ෂණයට මුහුණ දීමට සුදානමින් සිටිති. මේ දක්වා NVQ සහතික ලාභීන් 1500කට වඩා බිහිකර ඇති දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට (NAITA) අනුබද්ධ, පුහුණු වෘත්තිකයන් සඳහා ලබාදෙන ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය පිරිනමන ප්‍රමුඛතම ආයතනයකි. පෙදරේරු තාක්ෂණ ශිල්පීන්ට තම දක්ෂතාවය සහ පළපුරුද්ද අනුව උපාධිය දක්වා ඉහළට යාමට අඩිතාලමක් වන ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් NVQ සහතිකය ලබාදීම උදෙසා 2012 දී පිහිටුවන ලද A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා හා විද්‍යාගාර පහසුකම් වලින් සමන්විත වේ. පාඨමාලා කාලය තුල ආහාරපාන සහ නේවාසිකාගාර පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සපයාදෙමින් ගෞරවනීය සහ අත්දැකීම් පිරුණු ගුරු මඩුල්ලක් යටතේ ප්‍රයෝගික මෙන්ම තාක්ෂණික දැනුම සපිරි ඉතා ඉහළ මට්ටමේ පුහුණුවක් මෙහිදී ලබාදෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළ කණ්ඩායමක් දඹුල්ලේ A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ නේවාසික පෙදරේරු පුහුණුව ලබමින් මෙම NVQ පාඨමාලාවන්ට අමතරව, උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා විසින්, මේසන් වෘත්තිකයින්ගේ ශිල්පීය දැනුම සහ නවතම නිෂ්පාදන භාවිතය ඇතුළු වැඩබිමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය පුහුණුව ලබාදෙන සම්මන්ත්‍රණ මාලාවක්ද දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි මෙහෙයවනු ලබයි. තවද, රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශයට අනුයුක්ත ඉංජිනේරු වෘත්තිකයන්, කාර්මික සහ තාක්ෂණ සේවා නිලධාරීන් මෙන්ම කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුළු ද මෙම ව්‍යාපෘතියට ඇතුලත් වේ. නවීන තාක්ෂණික දැනුම සහ පුහුණුව තුලින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිමය මට්ටම ඉහළ තලයකට ගෙනඒම මෙම ජාතික වැඩපිළිවෙලේ අරමුණයි. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. ක්ෂේත්‍රයට අවශ්‍ය මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහ වෘත්තීය මට්ටමෙන් සපිරි ඉදිකිරීම් කාර්මික ශිල්පීන් බිහිකිරීමේ හෘදයාංගම කර්තව්‍යය ඉටුකිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සමාජ සත්කාර ව්‍යාපෘතියක් වන A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය හරහා උරදීම ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ අරමුණයි.