අතිනවීන කොන්ක්‍රීට් සහ සිමෙන්ති පර්යේෂණාගාරයක් කොළඹදී විවෘතවේ

අතිනවීන කොන්ක්‍රීට් සහ සිමෙන්ති පර්යේෂණාගාරයක් කොළඹදී විවෘතවේ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය සේවාවක් වන කොන්ක්‍රීට් සහ සිමෙන්ති ප්‍රමිතිය තහවුරු කරන අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ස්වාධීන පර්යේෂණාගාරයක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් නොබෝදා කොළඹදී විවෘත කෙරිණි. කොළඹ 9, ඩැනිස්ටර් ද සිල්වා මාවතේ, අංක 865 1/ 1 දරන ස්ථානයේ පිහිටි මෙම පර්යේෂණාගාරයෙදී විවිධ කාණ්ඩ වල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ගුණාංග ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව මැනබැලීම සහ සහතික කිරීම සිදුකරනු ලබයි. ISO 17025 සහතිකය හිමි මෙම රසායනාගාරය, මහල් ගොඩනැගිලි සහ විශාල ඉදිකිරීම් ව්‍යපෘති සඳහාම විශේෂිත කොන්ක්‍රීට් මිශ්‍රණ නිවැරදිව පරික්ෂාවට ලක් කිරීමට සමත් නවතම උපකරණ වලින් සමන්විතවේ. කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ වාර්තා සැපයීමට අමතරව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ලෙසත් මෙම රසායනාගාරය ක්‍රියාකරනු ඇත. දක්ෂ සහ පළපුරුදු රසායන විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් පර්යේෂක කණ්ඩායමක් විසින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්ෂේත්‍රයට හඳුන්වාදීමට අදහස් කරන නව නිපැයුම් සොයාගැනීම, තත්ත්ව පර්යේෂණයට ලක් කිරීම සහ වැඩිදියුණු කීරීම මෙහිදී සිදුකරනු ඇත. නූතනයේ ඉදිවන දැවැන්ත ඉදිකිරීම් සඳහා විශේෂිත නව කොන්ක්‍රීට් සහ සිමෙන්ති මිශ්‍රණ අත්හදාබැලීම සහ ඒවායේ ප්‍රමිතිය සහ තාක්‍ෂණික ගුණාංග සහතික කිරීමද ඔවුන් විසින් කරනු ඇති. මෙහි ඇති රසායනාගාර පහසුකම් අතර තෙත් බදාම වල ගුණාංග, බදාම සවි වීමේ කාලය සහ එහි ශක්තිය මැනබැලීම, කොන්ක්‍රීට් ශ්‍රේණිවල පීඩනධාරිතාව, ජලධාරිතාවය හා තාපධාරිතාවය මැනීම ආදිය වේ. වැලි ගල් වැනි අමුද්‍රව්‍යවල සියුම් බව මැනිය හැකි උපකරණ ද මීට ඇතුලත් වේ. මෙහි ඇති නවීනතම විද්‍යාත්මක උපකරණ අතර ක්ලෝරයිඩ් වැනි රසායනද්‍රව්‍ය සහ ජලය විනිවිද යෑමෙන් කොන්ක්‍රීට් බැම්මක දිගුකාලීන පැවැත්මට වන බලපෑම ගණනය කළහැකි උපකරණ ද වේ. සිමෙන්ති හා කොන්ක්‍රීට් වල තත්ත්ව සහතිකකරණයට අමතරව, ගොඩනැගිලි අලංකරණයේදී භාවිතා වෙන ටයිල් මැලියම් වර්ග, බිම් ඇතුරුම් ද්‍රව්‍ය හා ජලනිරෝධක බදාම වර්ග වල තාක්ෂණික සහ රසායනික ප්‍රමිතිය සහතික කිරීමේ පහසුකම් ද මෙම පර්යේෂණාගාරය සතුවේ. තවද, අධිවේගී මාර්ග සහ දැවැන්ත ගොඩනැගිලි සඳහා ඉහළ සම්පීඩන ශක්තියක් ඇති පිරවුම් ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන සැහැල්ලු කොන්ක්‍රීට් අත්හදාබැලීමේ සහ නියමු සාම්පල පරික්ෂාවට ලක් කිරීමේ හැකියාවද මෙම රසායනාගාරය සතුවේ. කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිර්දේශිත සියලු විද්‍යාත්මක පරීක්ෂණ එකම වහලක් යට ISO 17025 තත්ත්ව සහතිකය යටතේ ස්වාධීනව සිදුකර දීමට මෙම පර්යේෂණාගාරය සමත් වේ. මෙහි සේවාවන් ටෝකියෝ සිමෙන්ති පාරිභෝගිකයන්ට පමණක් සීමා නොවන අතර මුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයටම මින් රසායනාගාර පහසුකම් ලබාගත හැක. විශේෂයෙන්ම වර්තමානයේ රටේ සිදුකෙරෙමින් පවතින විශාල ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා මින් සැලසෙන සේවාව අතිමහත්ය. රටේ සියලු ප්‍රදේශ වල දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක්ම සිදුවෙමින් පවතින මෙවන් වකවානුවක, ගොඩනැගිල්ලක දිගුකාලීන පැවැත්ම මෙන්ම එය භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ සඳහා යොදාගන්නා සිමෙන්ති, කොන්ක්‍රීට් සහ අනෙකුත් සෑම අමුද්‍රව්‍යයකම ප්‍රමිතිය සහතික කිරීම ඉතාමත් වැදගත්වේ. නූතනයේ බොහෝ ඉදිකිරීම්, විශේෂයෙන්ම විදෙස් හවුල්කාරිත්වයෙන් ඉදිවන ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ලොව පිළිගත් රසායනාගාර පරීක්ෂාවන් තුලින් තහවුරුකිරීම අනිවාර්ය වේ. එම වැදගත් කර්තව්‍යයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම පර්යේෂණාගාරය මගින් මහඟු පිටිවහලක් සපයයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ ව්‍යාපාරික හවුල්කරුවකු වන ජපානයේ Ube Industries සමාගමේ සාමාන්‍යාධිකාරීවරයෙකු වන M. ඕනෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, කළමනාකාර අධ්‍යක්ෂ S.R. ඥානම්, සාමාන්‍යාධිකාරී, විධායක අධ්‍යක්ෂ නීතිඥ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු, වැඩබලන සාමාන්‍යාධිකාරී M. දයානන්දන් සහ පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිලධාරීන් සහභාගී ව සිටියහ. ජපානයේ Ube Industries සමාගම ටෝකියෝ සිමෙන්ති සමාගමේ තාක්ෂණික සහයෝගිතා සහකරු ලෙස මෙම විද්‍යාගාරය අනාගතයට උචිත අධිතාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත ලෙස නවීකරණය කිරීම සඳහා උපදෙස් සහ අධීක්ෂණය ලබාදෙමින් සිය නොමඳ දායකත්වය සැපයීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතිකරණය උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඇති කැපවීම සනාථ කරමින්, 2012 වසරේ දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ පළමුව ස්ථාපනය කළ මෙම පර්යේෂණාගාරයට 2015 වසරේ දී ISO 17025 සහතිකය හිමිවිය. අගනගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන දැවැන්ත සංවර්ධනයට ශක්තිය සපයමින් පාරිභෝගිකයන්ට සමීප සේවාවක් සැපයීමේ අරමුණ ඇතිව රසායනාගාරය කොළඹට ගෙනඒමට සමාගම පසුගිය වසරේදී තීරණය කෙරිණි. මෙහි සියලු පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන්නේ විශේෂ පුහුණුව ලත් විද්‍යාවේදීන් සහ රසායනඥයින් පිරිසක් විසිනි. ඒ අනුව, කොන්ක්‍රීට් මිශ්‍රණ වල ප්‍රමිතිය සහ රසායනික සංයුතිය සහතික කිරීම සඳහා කැපවුණු මෙම නවීන රසායනාගාරය මෙතැන් පටන් ලංකාවේ ඕනෑම තැනක සිදුකරන ඉදිකිරීම් ව්‍යපෘති සඳහා අවශ්‍ය ස්වාධීන රසායනාගාර පහසුකම් සපයනු ඇත. සියලු පාරිභෝගිකයින්ට පහසුවෙන් ළඟාවිය හැකිවන සේ කොළඹ අගනගරයේ බේස්ලයින් පාරට මුහුණලා පිහිටි මෙම ස්වාධීන ඉදිකිරීම් පර්යේෂණාගාරය 0112 445 105 ඔස්සේ ඇමතීමෙන් එහිදී ලබාගතහැකි විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර ලබා ගතහැක.