ටෝකියෝ සිමෙන්ති සමූහය ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ 2019 වාර්ෂික සැසිවාරය බලගන්වයි

ටෝකියෝ සිමෙන්ති සමූහය ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ 2019 වාර්ෂික සැසිවාරය බලගන්වයි

ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ (SSE-SL) 2019 වාර්ෂික සැසිවාරය සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ඉංජිනේරුවන්, උපදේශකයින්, ඉදිකිරීම් වෘත්තිකයන් සහ සංවර්ධකයින් මෙන්ම දිවයිනේ සියලුම ප්‍රමුඛ විශ්ව විද්‍යාලවල ඉංජිනේරු පීඨවල සිසුන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම සැසිවාරයේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ, ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රාහකත්වයෙන්, ජපානයේ සප්පෝරෝ හි හොකයිදෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහකාර මහාචාර්ය මයිකල් හෙන්රි සහභාගී වීමයි. “මාර්ග පාලම් යටිතල පහසුකම්වල ජීවන චක්‍ර කළමනාකරණය සඳහා ජාත්‍යන්තර තාක්‍ෂණික හුවමාරුව: මියන්මාරයේ සහ තායිලන්තයේ උදාහරණ ඇසුරින් සංකල්පීය රාමුවක්” යන මාතෘකාව යටතේ එම ප්‍රධාන දේශනය පැවැත්වීය. පාලම්වල කල්පැවැත්ම තක්සේරු කිරීම සඳහා උපයෝගී කර ගන්නා නවතම විශ්ලේෂණ ශිල්පීය ක්‍රම පිළිබඳ සිය පර්යේෂණ වලින් සොයාගන්නා ලද දැනුම මහාචාර්ය හෙන්රි විසින් මෙහිදී සිය සහෘද ප්‍රජාව මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් සහ ඉංජිනේරු අධ්‍යාපනඥයන් හමුවේ බෙදා ගන්නා ලදී.

ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම 2019 වාර්ෂික සැසිවාරයෙහි එකම අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වූයේ, රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ව්‍යුහාත්මක ඉංජිනේරුවන් අතර දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණෙනි. ටෝකියෝ සිමෙන්ති සමූහය අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ වාර්ෂික සම්මේලනය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබාදෙමින් එම සංගමය සමඟ පවතින දිගුකාලීන ආයතනික හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීමට කැපවී සිටියි. අප රට මේ වන විට යොමුව සිටින වේගවත් සංවර්ධන ගමනේ, අති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ට සිය නව අදහස් හුවමාරු කර ගැනීමට පිටිවහලක් සපයන මෙම වාර්ෂික විද්වත් හමුවට අනුග්‍රාහකත්වය සැපයීම තුලින් අපගේ ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට පිටිවහලක් සැපයීම සමාගමේ අරමුණයි.

ඡායාරූපය: ජපානයේ සැපෝරෝ හි හොකයිදෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහකාර මහාචාර්ය මයිකල් හෙන්රි, ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ 2019 වාර්ෂික සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින්