ටෝකියෝ සිමෙන්ති සමූහයේ පරිසර සංවේදී ව්‍යාපාරික ගමන්මගට පැසසුම් සම්මාන රැසක්

ටෝකියෝ සිමෙන්ති සමූහයේ පරිසර සංවේදී ව්‍යාපාරික ගමන්මගට පැසසුම් සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහයේ පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතයන් කීර්තිමත් සංසද දෙකක් විසින් නොබෝදා සම්මානයට පාත්‍ර කෙරිණි. මින් පළමුවැන්න, මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී රසායනික කර්මාන්ත කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමයි. මෙහි දෙවැනි සම්මානය වූයේ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ ත්‍රිකුණාමලයේ පිහිටි නවීනතම තාක්ෂණික විශිෂ්ඨතා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) හරිත ප්ලැටිනම් ලේබලය දිනාගනිමින් ඉහළම සහතිකකරණය හිමිකර ගැනීමයි. මෙම ගෞරවනීය සම්මාන ද්විත්වයම, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් අනුගමනය කරනු ලබන ස්වභාවික සම්පත් තිරසාර භාවිතය තුළින් අපගේ පරිසරය සුපෝශණයට හා සංරක්ෂණය කිරීමට දක්වන නොසැලෙන කැපවීම වෙනුවෙන් ලැබුණු නවතම පිළිගැනීමයි.

2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවීමට කරුණු රැසක් සැලකිල්ලට ගැණිනි. ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් කරනලද උපායමාර්ගික ආයෝජනයන් අතරින් ටෝකියෝ සුපර් සිමෙන්ති නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කරන පරිසර හිතකාමී ක්‍රියාවලියට මින් මුල් තැනක් හිමිවේ. වෙළඳපොලේ ඇති වඩාත්ම පරිසර හිතකාමී සිමෙන්තිය ලෙස ඉහළම ස්ථානය හිමිකරගෙන ඇති ටෝකියෝ සුපර් සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තිය, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (Ceylon Institute of Builders – CIOB) විසින් පිරිනමන ග්‍රීන් මාර්ක් (සිංගප්පූරුව) සහතිකය මෙන්ම, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) හරිත ප්ලැටිනම් ලේබලය ද හිමිකරගෙන ඇත. ටෝකියෝ සුපර් සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති නිෂ්පාදනයේදී නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් අතුරු එලයක් ලෙස ඉවතලන Fly Ash යොදාගැනීම නිසා එහි ප්‍රතිචක්‍රීය වටිනාකම ඉහළ වනවා සේම, හුණුගල් ප්‍රතිශතය අඩු නිසා ඒ දහනයෙන් පරිසරයට මුදාහැරෙන CO2 ප්‍රමාණය අඩු කරවීමත් නිසා දැනට ශ්‍රී ලංකාවේ අඩුම කාබන් දර්ශකය හිමි සිමෙන්තිය වේ. ටෝකියෝ සිමෙන්ති සමාගම, සිය සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම 100%ක් පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සිදුකරනු ලැබීම ද මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්කෙරිනි.



ටෝකියෝ සිමෙන්ති සමූහය 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී රසායනික කර්මාන්ත කාණ්ඩයේ රිදී සම්මානය හිමිකරගනී.

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ත්‍රිකුණාමලයේ සිය කර්මාන්තශාලා සංකීර්ණය තුල අභිනවයෙන් ඉදිකරන ලද තාක්ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) හරිත ගොඩනැගිලි GREENSL® Rating System v2.0 යටතේ ප්ලැටිනම් තත්ත්ව සහතිකය හිමිකරගැනීම, ආයතනය ලබාගත් අනෙක් ජයග්‍රහණයයි. ජලය, විදුලිය ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කරවන, ඉතා ඉහළ පරිසරහිතකාමී ගෘහනිර්මාණ සැලසුමක් අනුව නිමවා ඇති මෙම තාක්‍ෂණ මධ්‍යස්ථානය, මුළුමනින්ම බලගැන්වෙන්නේ 75KW මුළු ධාරිතාවකින් යුතු සූර්යබල විදුලි පද්ධතියකිනි. මිට අමතරව, වැසි ජලය ගබඩා කිරීම හා ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමද මෙම ගොඩනැගිල්ලේ පරිසරහිතකාමී බව වැඩිදියුණු කිරීමට හේතුවී ඇත. මෙසේ ලබාගන්නා ජලය, ඒ අවට පරිසරයේ රෝපිත ගස්වැල් පෝෂණයට යොදාගැනීම වඩාත් හිතැති වටපිටාවක් නිර්මාණය කරදීමට අත්වැලක් සපයයි.

මෙසේ අප රටේ පාරිසරික වටිනාකම රැකගනිමින් ස්ථිරසාර පැවැත්ම සහතික කරන ඉදිකිරීම් සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම කැපවීසිටියි. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති සමාගම, පාරිසරික සංරක්ෂණය සිය ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි.

ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති සමූහයේ තාක්ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) හරිත ගොඩනැගිලි GREENSL® ප්ලැටිනම් තත්ත්ව සහතිකය දිනාගනී.