ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියනයකින් ඉහළට

ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියනයකින් ඉහළට

ඡායාරූපය: ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ජපානයේ Mitsubishi Ube Cement Corporation හි කළමනාකාර විධායක නිලධාරී මසහරු සන්සුයි මහතා, සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු නඕකි කමොශිඩා මහතා විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව කම්හල උත්සවාකාරයෙන් විවෘත කිරීම.

දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ලංකාවේ ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම සිමෙන්ති කර්මාන්තශාලාව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගියදා ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදී. වසරකට සිමෙන්ති ටොන් මිලියනයක ධාරිතාවෙන් යුත් මෙම ස්වයංක්‍රීය, අධි තාක්‍ෂණික සිමෙන්ති කර්මාන්තශාලාව, සමාගමේ සමස්ත නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්වා ඉහළ නංවන අතර, එමගින් දේශීය වෙළඳපොළෙහි විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය ස්ථාවර කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවනු ඇත.

මෙම සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගරු නඕකි කමොශිඩා මහතා සහ එහි මූල්‍ය ප්‍රධානි සහ ප්‍රධාන ලේකම්, ගරු තකාෆුමි නකානිෂි මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, සහ ගරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රොෂාන් අක්මීමන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

තවද, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතාගේ ආරාධනයෙන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ තාක්ෂණික සහකරු වන ජපානයේ Mitsubishi Ube Cement Corporation හි කළමනාකාර විධායක නිලධාරී මසහරු සන්සුයි මහතා, සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිලධාරින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මීට සහභාගීව සිටියහ.

ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු නඕකි කමොශිඩා මැතිතුමා විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව සිමෙන්ති ඇඹරුම් කම්හල ත්‍රිකුණාමලයේදී විවෘත කල අවස්ථාව.

උත්සව සභාව ඇමතූ ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, “සමස්ත ජාතික ආර්ථිකයේ ප්‍රගමනයට පමණක් නොව නැගෙනහිර පළාතේ සංවර්ධනයට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ඉටුකරන සුවිශේෂී කාර්‍යභාරය අතිමහත්. මම දැඩි විශ්වාස‍යෙන් යුතුව අදටත් කියා සිටින පරිදි, අපගේ මුළුමහත් දේශීය ආර්ථිකයටම පණ දිය හැකි ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය ඇතුළු මෙම නැගෙනහිර කලාපය සතු අතිමහත් විභවය, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිතුමා මීට දශක ගණනාවකට පෙර හඳුනාගත් නිසා තමයි මේ ව්‍යාපාර සමූහය අද මෙතරම් විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත්තේ. අපි අද මේ දකින්නේ රට ගොඩනැගීමේ අවංක කැපවීම සහ විශ්වාසය මත ගොඩනැගුනු ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් තුලින් රටට ලබා ගත හැකි ප්‍රගතිය පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. රජයක් හැටියට, දියුණු ආර්ථිකයක මූලික අවශ්‍යතාවයක් වන ආයෝජක හිතකාමී පරිසරයක් තහවුරු කිරීමෙන් මෙවැනි දේශීය ආයෝජන දිරිගැන්වීමට අපගේ උපරිම සහයෝගය ලබාදෙන බව මම නැවතත් තහවුරු කරනවා.” යනුවෙන් පැවසීය.

උත්සවයට සහභාගීවූ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගරු නඕකි කමොශිඩා මහතා, තිරසාර සංවර්ධනය සහ පුළුල් මහජන අභිවෘද්ධිය අරමුණු කරගත් ජපන්-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ සුවිශේෂී සලකුණක් වන ටෝකියෝ සිමෙන්ති සමාගම දශක හතරකට අධික කාලයක් පුරා අත්පත් කරගෙන ඇති ශක්තිමත් වර්ධනය අගය කරමින්, “ටෝකියෝ සිමෙන්ති සමාගමේ අති නවීන සිමෙන්ති නිෂ්පාදන කම්හල විවෘත කිරීමේ උත්සවයට අපගේ සුභාෂිංශන එක්කරනවා. ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් ඉතා කෙටි කලකට පසු ටෝකියෝ සිමෙන්ති සමාගම මෙවන් උපාය මාර්ගික දූරදර්ශී ප්‍රගතියක් අත්පත් කරගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි. දේශීය ආර්ථිකය ගොඩනැංවීමට සමාගමේ ඇති කැපවීම මෙම කලාපයට පමණක් නොව රටේම අනාගතයට සුභදායී බලාපොරොත්තුවක්.” බව ප්‍රකාශ කළහ. තවද, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සවිමත් සබඳතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය සැමදා ලබාදෙන බව ජපාන තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානී තුමා පැවසුවේය.

ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ නවීනතම යුරෝපීය තාක්‍ෂණයෙන් බල ගැන්වෙන මෙම නව කර්මාන්තශාලාව, සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සහ පරිසර හිතකාමී ප්‍රමිතිය ඉතා ප්‍රශස්ථ මට්ටමකට ඔසවා තබන බවයි. ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය නවෝත්පාදනය සහ පාරිසරික වගකීම සපුරාලීමට දක්වන කැපවීම මින් යලි තහවුරු වන බව පැවසූ එතුමා, “මෙහි වැදගත්ම කාරණය නම්, මෙම සමස්ත ව්‍යාපෘතියම ක්‍රියාත්මක කළේ අප සමාගමේ දේශීය ඉංජිනේරු කණ්ඩායම් විසින් වීමයි. එය ශ්‍රී ලාංකීය හැකියාවන් සහ රට තුලම වටිනාකම් ජනනය කිරීමේ හැකියාව පිළිබඳ අප තබා ඇති විශ්වාසයට ප්‍රබල සාක්ෂියකි. වසර හතළිස් තුනකට වැඩි කාලයක් පුරාවටම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රමුඛතම උපායමාර්ගික දැක්ම වුනේ අප රට තුල උත්පාදනය කරන වටිනාකම් රටින් පිටට නොයවා, රටේ අනාගතය වෙනුවෙන් නැවත ආයෝජනය කරන අපගේ දේශීය වටිනාකම් දාමය පුළුල් කිරීමයි. අපගේ නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 4කට ඉහළ නංවන මෙම සුවිශේෂී ආයතනික සන්ධිස්ථානයත් සමඟ ටෝකියෝ සිමෙන්ති සමාගමට ලාංකීය ඉදිකිරීම් කර්මාන්තයේ දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සපුරාලීමට හැකියාව ලැබෙන අතරම, එමඟින් සිමෙන්ති ආනයනයට වැයවන ඩොලර් මිලියන ගණනක් රටට ඉතිරි කර දීමට ද හැකිවෙනු ඇති.” බව පැවසීය.

දශක හතරක් ඉක්මවූ සවිමත් ව්‍යාපාරික ඉතිහාසයකට උරුමකම් කියන සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ප්‍රතිඥා දී ඇති ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි. දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙට්‍රික් ටොන් මිලියන 1 අති නවීන සිමෙන්ති ඇඹරුම් කම්හල විවෘත කිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා