වසරේ හොඳම අලෙවි නියෝජිතයන්ට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් හරසර

වසරේ හොඳම අලෙවි නියෝජිතයන්ට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් හරසර

ටෝකියෝ සිමෙන්ති සමාගම සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව නොබෝදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. දිවයින පුරා පැතිරී සිටින සිය ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨතම දක්ෂතා දැක්වූවන්ට තම ප්‍රණාමය පුදකිරීම මෙහිදී සිදුවිය. යාපනයේ, සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2016 වසරේ හොඳම අලෙවි නියෝජිතට හිමි සම්මාන සහතික මෙහිදී දිනාගත් අතර, මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් දෙවන ස්ථානයත්, මඩකලපුවේ අහිලා හාඩ්වෙයාර් තුන්වන ස්ථානයත් පිළිවෙලින් දිනාගන්නා ලදී.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන්, 300 කට අධික ගෞරවනීය අමුත්තන් වෙනුවෙන් පැවති මෙවර උත්සවය, තම අලෙවි ජාලයේ ජයග්‍රහණ සැමරීමට විශේෂයෙන් පෙළගස්වන ලද අංග රැසකින් සමන්විතව තිබිණි. වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවයේ දී සමාගම විසින් සිය හොඳම ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන් තෝරා ඔවුන්ට අගනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කරමින් සිය ගෞරවය පළකරන අතර, මෙවර සමුළුවේදී 175 කට අධික ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් සිය 2016 වසරේ වෙළඳ දක්ෂතාවයන් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා උත්සවය අමතමින්, “අප තබන සෑම ඉදිරි පියවරකට ම අවශ්‍ය දිරිය ලබා දෙන්නේ අපගේ වෙළඳ නියෝජිතයන් වන ඔබ විසිනුයි. අප ලබන සෑම ජයග්‍රහණයක් ම අප දෙගොල්ලන්ගේම ජයග්‍රහණ වෙනවා. එසේ දියුණුව කරා ගමන් කිරීමට අප සමග විශ්වාසයෙන් අත්වැල් බැඳගැනීම පිළිබඳ අපගේ ගෞරවය ඔබට හිමි වෙනවා. ඔබ ලබා දෙන දිරිය නිසා අපට හැකි වී තිබෙනවා උසස් තත්වයේ නිපැයුම් අතින්, ධාරිතාවෙන් මෙන්ම තාක්ෂණය අතින් අන් කිසිවකුට නොදෙවෙනි ශක්තිමත් දියුණුවක් ලබාගැනීමට.” බව ප්‍රකාශ කර සිටියේය.

තම සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙන දිවයින පුරා විසිරී සිටින සියලු ව්‍යාපාරික සහකරුවන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පළකළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා, “අපේ ව්‍යාපාරයේ අරටුව වන්නේ අද මේ රැස්ව සිටින අපේ පවුලේ සාමාජිකයන්. අප දෙගොල්ලන්ම අපගේ ව්‍යාපාර ඉතා කුඩා තැනින් පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන අයුරු බලා සතුටුවන එකම පවුලේ සාමාජිකයන්. අදත් අප පවුලක් හැටියට එක්ව සිටින්නේ අපේ ජයග්‍රහණයේ සතුට බෙදාගන්නයි. දශක ගණනක් පුරා අපි සමග මෙසේ අත්වැල් බැඳගත් සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුදකරන අතර මින් ඉදිරියටත් ඔබේ දියුණුව වෙනුවෙන් කැපවීමට පොරොන්දු වෙනවා.” පැවසීය.

එදින ජයග්‍රහණය ලැබූ සියලු ව්‍යාපාරික සහකරුවන්ට තම සුභපැතුම් එක් කළ ටෝකියෝ සිමෙන්ති සමූහයේ අළෙවි කළමනාකාර දශන්ත උඩවත්ත මහතා, “පසුගිය අවුරුද්ද අප සියලු දෙනාටම ජයග්‍රාහී වසරක්. අපේ දියුණුවේ ඉලක්ක රාශියක් ලඟාකරගැනීමට අපට හැකිවුණා. ඉන් ප්‍රධානතම වන්නේ ත්‍රිකුණාමලයේ විවෘත කෙරුණු අපගේ 4වන කර්මාන්තශාලාව. ඒ සමගින් අපගේ ධාරිතාව වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 1කින් වැඩිවෙනවා. මේ සියලු ජයග්‍රහණවල බලයෙන්, ඔබත් සමග එක්ව අපගේ වෙළඳපොළ නායකත්වය වඩවඩාත් ශක්තිමත් කර ගැනීමට හැකිවන බව අපට විශ්වාසයි.” යනුවෙන් පැවසුවේය.

වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් තම වෙළඳ නියෝජිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වේ. ඉහළම කුසලතා දැක්වූ අලෙවි නියෝජිතයන්ට ගුවන් සවාරි ඇතුළු වටිනා ත්‍යාග පිරිනමමින් ඔවුන් දිරිගැන්වීම මෙහි අරමුණයි. මීට අමතරව, සිය අලෙවි නියෝජිතයන් දිරිගැන්වීම සඳහා ලෝක බැංකුවට අනුයුක්ත ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) සමග එක්ව පුහුණු වැඩමුළු සංවිධානය කිරීමද සමාගම සිදුකරයි. මෙම පුහුණුව හරහා දිවයින පුර පැතිරී සිටින සිය ව්‍යාපාරික සහකරුවන්ට තම ව්‍යාපාර වඩාත් සාර්ථක කර ගනිමින් දක්ෂ ව්‍යවසායකයින් වීමට අවශ්‍ය අඩිතාලම සපයාදීම සමාගමේ අරමුණයි. සිය අලෙවි නියෝජිතයන් විසින් සමාගම කෙරෙහි තබා තිබෙන දශක ගණනාවක විශ්වාසය වඩාත් තහවුරු කර ඔවුන්ගේ ඉදිරිගමන ශක්තිමත් කිරීම මගින් මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේම තත්වය ඉහල නැංවීම මෙහි මූලික පරමාර්ථයයි.

දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.