ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් ජපන් විද්‍යාර්ථින්ගේ දැනුම අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට

ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් ජපන් විද්‍යාර්ථින්ගේ දැනුම අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට

ටෝකියෝ සිමෙන්ති සමාගම ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග දශක ගණනාවක් පුරා පවත්වාගෙන එන සමීප සබඳතාවය අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා යොදවා ගැනීමේ අරමුණින් පවත්වන ලද දෙදින ඉංජිනේරු සමුළුවක් නොබෝදා කලුතර අනන්තාරා හෝටලයේදී පවත්වන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක ඉංජිනේරු උපදේශකයන්, ව්‍යාපෘති කළමණාකරුවන් සහ ඉංජිනේරු වෘත්තීයවේදීන් උදෙසා පැවැත්වූ මෙම සමුළුව සංවිධානය කරන ලද්දේ ලංකාවේ අංක.1 පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදකයා මෙන්ම සිමෙන්ති පාදක අගය එක් කළ නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ පුර්ණ අනුබද්ධිත TOKYO SUPERMIX සමාගම විසිනි. ලොව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්‍ෂණික භාවිතය අතින් අනභිභවනීය තැනක් හිමිකරගෙන සිටින ජපානයේ භාවිත කෙරෙන නවතම ඉංජිනේරුමය හැදෑරීම් අපගේ වෘත්තීයවේදීන් සමග බෙදාහදා ගැනීමට අවස්ථාව සැලසූ මෙම වැඩමුළුවේදී, නව තාක්‍ෂණික ක්‍රමවේද හඳුන්වාදීම මෙන්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින විශේෂඥයන්ට සිය සහෘදයින් සමග අදහස් හුවමාරුවට ද අවස්ථාව සැලසිණි.



මෙහිදී ටෝකියෝ සිමෙන්ති සමූහයේ තාක්ෂණික සහයෝගිතා සහකරු වන ජපානයේ Ube Industries සමාගමේ විශේෂඥයන් තිදෙනෙකු වන ආචාර්ය කෙයිසුකේ ටකහෂී, ආචාර්ය හිරොකත්සු මෝරි සහ ඉංජිනේරු ටොමොඅකි ඉටෝ යන මහත්වරු විශේෂ දේශන පැවැත්වුහ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය එම්.ජී.එම්.යූ. ඉස්මයිල් මහතා සහ ටෝකියෝ සුපර්මික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජානක පෙරේරා මහතා විසින් සමුළුව මෙහෙයවන ලදී.

සමුළුව ඇමතූ Ube Industries සමාගමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය කෙයිසුකේ ටකහෂී මහතා ඝර්ම කලාපීය දේශගුණික තත්ත්ව යටතේ කොන්ක්‍රීට් භාවිතයේ නවතම තාක්‍ෂණික විධික්‍රම හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී, ආචාර්ය ටකහෂී මහතා ජපානයේ සයිටාමා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමග එක්ව ලංකාවේ මොරටුව සහ රුහුණු විශ්වවිද්‍යාල දෙකෙහි සිවිල් ඉංජිනේරු පීඨවල ද සහභාගීත්වය ඇතිව ආසියානු කලාපයේ සිදුකරමින් සිටින පර්යේෂණයක තොරතුරු සාකච්ජාවට බඳුන් කෙරිණි. ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය හිරොකත්සු මෝරි සමුළුව අමතමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ අවශ්‍යතා සඳහා භාවිතා කරන ඇතුරුම් මිශ්‍රණ සහ ඒවා තෝරාගැනීමේදී සැලකියයුතු කරුණු රැසක් පෙන්වා දෙනු ලැබීය. කාලයත් සමග ශක්තිය ඉහළ යෑම, ඉහළ තාප ධාරිතාවය, රසායනික මලබැඳීමට ප්‍රතිරෝධය සහ දිගුකල් පැවැත්ම ආදී අත්‍යවශ්‍ය ගුණාංගවලින් සපිරි අධි-ශක්ති කොන්ක්‍රීට් සැදීමට ඒ සඳහා විශේෂිත සිමෙන්ති ම යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ඉංජිනේරු ටොමොඅකි ඉටෝ මහතා එවැනි සිමෙන්තියක තිබිය යුතු රසයනික සංයුතිය සහ තාක්‍ෂණික විශේෂාංග හඳුන්වා දෙනු ලැබීය.



ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත, තත්වයෙන් උසස් අංක.1 පෙර සැකසූ කොන්ක්‍රීට් වන TOKYO SUPERMIX මෙහිදී සාකච්ජාවට බඳුන්වූ සෑම ප්‍රමිති මට්ටමක්ම ඉතා විශ්වසනීය ලෙස සපුරන බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය. දැනට ලංකාවේ ක්‍රියාත්මක සුපිරි ඉදිකිරීම් ව්‍යපෘති සියල්ලටම පාහේ අවශ්‍ය විවිධ ශ්‍රේණිගත කිරීම් වලට අනුකුල කොන්ක්‍රීට් විසඳුම් සැපයීමෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ පමණක් නොව බහුජාතික ඉදිකිරීම් සමාගම් සහ ගොඩනැගිලි විශේෂඥයින්ගේ විශ්වාසය දිනාගැනීමට TOKYO SUPERMIX සමත්ව සිටියි. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරන නිෂ්පාදනාගාර ජාලය සහ දිවයිනේ විශාලතම කොන්ක්‍රීට් ප්‍රවාහන ට්‍රක් රථ සහ පොම්ප කිරීමේ රථ සමුහයට හිමිකම් කියන එකම පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදකයා වන්නේද TOKYO SUPERMIX ම වේ. ශ්‍රී ලංකාවේ භුමි දර්ශනය විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ඉදිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග පද්ධතිය, Altair, Avic Astoria, Capital Twin Peaks වැනි සුපිරි නිවාස සහ වෙළඳ සංකීර්ණ, සහ Cinnamon Life, Krrish Square වැනි දැවැන්ත නගර සංවර්ධන ව්‍යපෘති, සුපිරි ශ්‍රේණිගත TOKYO SUPERMIX අධි-ශක්ති කොන්ක්‍රීට් යොදා ගොඩනංවන අසමසම ඉඳිකිරීම් අතර කැපීපෙනෙන ව්‍යාපෘති කිහිපයකි.

සමුළුවට සහභාගිවූ දේශීය ඉංජිනේරු විශේෂඥයන්ගේ පැසසුමට ලක්වූ මෙම විද්වත් හමුව, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ළබැඳි මිතුරෙකු වන ජපානය සමග ඇති සිය සමීප සබඳතාවය අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා යොදවා ගැනීමේ අරමුණින් පැවැත්වූ තවත් එක් වැඩසටහනකි. මින් ඉදිරියටත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදෙන ටෝකියෝ සිමෙන්ති සමුහය අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක නියමුවා ලෙස ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටී.