ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ පොන්නාවෙලි ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් නොබෝදා ජනතා අයිතියට පත් කරනලදී. පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් යළි පුබුදමු ලංකා සංවිධානයේ අපේ ලංකා වැඩසටහන සමග එක්ව දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, පූනාකරි (පූනරින්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය හා මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී.



උතුරු වෙරළ තීරය මායිම්ව පිහිටි මෙම ප්‍රදේශයේ භූගත ජලයේ අධික ලවණතාවය මෙම වැසියන්ගේ පානීය ජල ගැටලුවට ප්‍රධානම හේතුවයි. ගම්මාන සියල්ලම පොදුවේ බීමට ජලය ලබාගන්නා ළිං කිහිපයක් පැවතියද ඒවායේ ජලය අධික ලවණතාවය නිසා භාවිතයට ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර වසරේ වැඩි කාලයක් පවතින දැඩි වියළි කාලගුණය නිසා ඒවායේ ජල මට්ටමද ඉතා අවම මට්ටමක පවතී. තවද, අධික ලවණතාවය හා ජලයේ දියවී ඇති සිරුරට අහිතකර විවිධ රසායනද්‍රව්‍ය නිසා මෙම වැසියන්ට, විශේෂයෙන්ම ප්‍රදේශයේ කුඩා දරුවන් සහ වැඩිහිටියන්ට විවිධ රෝග වැළදීමේ අවදානම ද ඉහළ මට්ටමක පැවතිණි. මෙවන් වටපිටාවක වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනේ ජිවත්වන පවුල් පන්සීයක පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් සභාව විසින් බවුසර් මගින් සැපයූ ජලය මිලදී ගැනීමෙනි. ධීවර කර්මාන්තය සහ ගොවිතැන ජීවෝපාය කරගත් ඉතා අඩු ආදායම්ලාභී පවුල් වන මෙම වැසියන්ට ඒ සඳහා දරන්නට සිදුවූ දෛනික පිරිවැය අතිමහත්ය. මෙම ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ අරමුණින් ඉදිරිපත් වූ ටෝකියෝ සිමෙන්ති සමාගම, එම ප්‍රදේශයේ ග්‍රාමීය ජනජීවිතය නගාසිටුවීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අපේ ලංකා සංවිධානය විසින් හදුන්වාදුන් ගම්මාන තුනකට මෙම ජල පිරිපහදු පද්ධති ලබාදෙන ලදී.



මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් සැලසුම් කරන ලද මෙම පානීය ජල ව්‍යාපෘතිය, විශේෂ තාක්‍ෂණික ඇගයීම් ක්‍රමවේදයක් මත පදනම්ව ක්‍රියාත්මක කරන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ පුර්ණ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියට, දැනට පවතින ළිං තුනක් අලුත්වැඩියා කිරීම, ගම්මාන තුනේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ජල පොම්ප සහ ටැංකි සවි කිරීම සහ, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද, විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධති (Reverse Osmosis (RO) Water Purification) තුනක් ස්ථාපිත කීරීම ඇතුලත් විය. ස්ථාපනය කළ පළමු වසර තුන තුළ ජල පවිත්‍රාගාර නඩත්තු කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිදු කරනු ලබනු ඇති අතර, පද්ධතියේ ඉදිරි තිරසාර පැවැත්ම හා නඩත්තුව සහතික කිරීම සඳහා පොන්නාවෙලි ග්‍රාමනිලධාරී මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ අපේ ලංකා සංවිධානයට අයත් ප්‍රජා නියෝජිතයන් විසින් කටයුතු සම්පාදනය කරනු ඇත.





කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි හි දුෂ්කර ගම්මාන තුනක ජිවත්වන දෙදහසකට අධික ජනතාවගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ මානුෂීය කර්තව්‍යය ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෑතකදී ඉටු කරන ලද සුවිශේෂී වැඩසටහනකි. අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.