The Music Project; වඩා හොඳ හෙටක් උදෙසා දරුවන්ගේ ජීවිත පරිවර්තනය කිරීම

The Music Project; වඩා හොඳ හෙටක් උදෙසා දරුවන්ගේ ජීවිත පරිවර්තනය කිරීම

කුරුණෑගල, මාවතගම ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ මුලතිවු හි පාලිනගර් මහා විද්‍යාලයේ දරුදැරියන් සතියකට දෙවරක්, පාසැලේ පෙරදිග වාද්‍ය වෘන්දය සහ බටහිර සංගීත කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ඔවුන්ගේ පාසලේ තාවකාලික සංගීත කාමරයට එක්‍ රැස් වන්නේ ඉතා උනන්දුවෙනි. මීට පෙර සංගීතය ඉගෙනගැනීමට ප්‍රවේශයක් නොතිබූ මෙම කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය දිනෙන් දින දළුලාවැඩෙන අතර එය ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය මෙන්ම කෙලිලොල් ජීවිත ද දිරිගැන්වීමට හේතු වී තිබේ. The Music Project පදනම විසින් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන සංගීත අධ්‍යාපන වැඩසටහන දරුවන්ගේ මෙම පුනරුදයට හේතුවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාදෙනු ලබන යටිතල පහසුකම් අඩු ග්‍රාමීය පාසල්වල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර දරුවන්ට සංගීතය ඉගැන්වීම තුලින් සිය හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට නවමු අවස්ථාවන් උදාකරදෙනු ලබයි.

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් පසුගිය වසර තුනක කාලය තුළ මෙම පාසල් දෙකේ සිසුන් 200 කට වැඩි පිරිසකට The Music Project හරහා ඔවුන්ගේ සංගීත අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා අනුග්‍රහය දැක්වීය. විශ්ව භාෂාව වන සංගීතය මෙවලමක් ලෙස යොදාගනිමින්, මෙම ව්‍යාපෘතිය හරහා අධ්‍යාපනික කඩඉම් වලින් ඔබ්බට ගිය වඩාත් දීප්තිමත් අනාගතයකට දොරටු විවර කරදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රධානතම අරමුණයි. ව්‍යාපෘතියට පුර්ණකාලීනව සම්බන්ධ ස්වේච්ඡා ගුරුවරුන් සහ විදේශයන්ගෙන් මෙහි පැමිණෙන සංගීත ගුරුවරුන්ගේ සහය ඇතිව විශේෂ වැඩමුළු සහ පුහුණු සැසිවාර මේ වෙනුවෙන් පැවැත්වේ. දිවයිනේ විවිධ පලාත්වල ප්‍රේක්ෂකයන් සඳහා සහ විශේෂ අවස්ථාවන්හිදී පැවැත්වෙන සංගීත උළෙල වලදී මෙම දරුවන්ට සිය කුසලතා එලි දැක්වීමට ද මින් අවස්ථාව සැලසෙයි.

>



මාවතගම ශ්‍රී ගුණනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ පෙරදිග වාද්‍ය වෘන්දය The Music Project ගුරුවරයෙකු සමඟ පුහුණුවීම් වල යෙදෙමින්

The Music Project වාද්‍ය වෘන්දය, දරුවන්ට සිය නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට තෝතැන්නක් මෙන්ම, සියළුදෙනාටම එකසේ ගරු කිරීම, පොදු අරමුණකට කැපවීම, අභියෝග ජයගැනීම වැනි වටිනා ජීවන කුසලතා වර්ධනයට අඩිතාලමක් සපයයි. මෙම ව්‍යාපෘතිය තුලින් මේ වනවිට පහසුකම් අඩු ග්‍රාමීය පාසල් හතක සිසුන් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා සංගීත අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැල සපයනු ලබයි. උතුරු මැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ආරම්භයේ සිට මේ දක්වා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල පාසල් ගුරුවරුන් 80 කට අධික සංඛ්‍යාවකට සහ පාසල් ළමුන් 3000 කට වැඩි පිරිසකට සංගීත අධ්‍යාපනයට දොරටු විවර කරදී ඇත.



පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් පිළිගැනීම සඳහා සූදානම්ව සිටින මුලතිවු හි පාලිනගර් මහා විද්‍යාලයේ බටහිර සංගීත කණ්ඩායමේ දරුවන්

මෙරට සහ විදේශයන්හි වෙසෙන දානපතියන්ගේ පරිත්‍යාග සහ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන කිහිපයක දායකත්වයෙන් ගොඩනැගුණු භාරකාර අරමුදලකින් The Music Project ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. සංගීතයෙන් දරුවන්ගේ සිත් සුවපත් කරවා ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට නැවුම් පිටිවහලක් ලබාදීමේ අභිලාශයෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම වැඩසටහන සමග 2017 වසරේ සිට එක්ව සිටියි.